Friday, November 21, 2014

සඳහිරු සෑය

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය



ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවන රිය පෙරහර 12 වන දා කොළඹ සිට මහනුවරට 13 වන දා මහනුවර සිට අනුරාධපුරයට රිය පෙරහර ගමන් ගන්නා මඟ දෙපස දී මල් පූජාවට සැදැහැවතුන්ට අවස්ථාවක්






මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010 නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම සඳහිරු සෑය ඉදි වේ.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුළ මෙරට උපන් විශාල දරු පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ ය. ඒ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහාය. මව්කුසයේ සිටි අහිංසක දරුවන්ගේ සිට කිරි දරුවන්, ගැබිනි මව්වරුන්, ගොවියන්, වෘත්තිකයන්, පාසල් දරුවන්, විවිධ තරා තිරම්වල අහිංසක පුරවැසියන් භික්ෂූන් වහන්සේද ඇතුළු පදිකවේදිකාවේ සිට රටේ ජනාධිපතිවරු දක්වා යුද්ධය වෙනුවෙන් රටේ මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමිවුණි. හැමදෙනාම අනුස්මරණය කරමින්, ඒ හැම කෙනෙක්ම නැතිවීම තුළ ඒ ඒ අයගේ ඤාතීන්ට, ඒ ඒ අයගේ දරුවන්ට ඒ ඒ අයගේ හිතමිතුරන්ට සිදු වූ පාඩුව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. ඒ ඒ අයගේ ජීවිතවල පුද්ගල වටිනාකම් මෙතකැයි කියා තක්සේරු කළ නොහැකිය. එබැවින් ඒ සියලු දෙනාට පින් දෙන්නත්, එම ත්‍රස්තවාදය නිසා තමන්ට ඇති වී තිබෙන දුක, වේදනාව තුනී කර ගැනීමට ඒ අයගේ උදාර පරිත්‍යාගයට, අහිමිවීමට නැවත කළ හැකි වෙනත් දෙයක් නොවේ.
එබැවින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙස් විදෙස් වශයෙන් ලබාගෙන එම සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කර මෙතෙක් හෙළ රජවරුන් විසින් කරන ලද මහා නිර්මාණයකට සමාසන්නව සිදු කරන අද්විතීය අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවයකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සඳහිරු සෑය ඉදිකිරීම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේත් දේශීය හා විදේශීය දායකත්වය මත පේසා වළලු තුනේ ඉදිකිරීම් අවසන්කර ගර්භයේ ධාතු කුටිය ඉදිකිරීම් නිමවා මෙම මස 23 වන දා හයදහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරේ. සඳහිරු සෑය නිර්මාණයේ දී එය පොළොව මතුපිට සිට උසින් අඩි 280 පමණ වේ. අඩි 50 කට ආසන්න පොළොව යට සිට පොළොව පාදම තිබේ. සඳහිරු සෑයේ විශ්කම්භය අඩි 255 කි. සඳහිරු සෑයේ වටප්‍රමාණය අඩි 802 කි. සඳහිරු සෑය නිර්මාණය කිරීමේ දී එය ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක් බවටද පත් වේ. සඳහිරු සෑය වටා සලපතල මළුවට පහළින් කොටස විශාල කලාගාරයක් බවට පත් කිරීම සඳහා ජාතක කතා, බෝසත් සිරිත, අසිරිමත් බුදු සිරිත, ලංකා ශාසන ඉතිහාසය, දම්සක් පැවැතුම් සූත්‍රයේ අදාළ සංකල්ප මූර්තිමත් කෙරේ.
රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය සිදුවූයේ කෙසේද? ඒ අයුරින්ම පෙර රජ දවස සිදුකළ සියලු පුද පූජා චාරිත්‍ර සියලු පූජා ද්‍රව්‍ය, රන් රුවන්, මුතු, මැණික් සියල්ල තැන්පත් කර එම ධාතු නිධාන පූජෝත්සවය පැවැත්වේ.
මෙම ඓතිහාසික අවස්ථාව මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්ද වනු ඇත. එබැවින් මෙය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ අපට වසර 1600 කට පසු දක්නට ලැබෙන, නැවත අපේ ජීවිතයේ පමණක් නොව ඇතැම් විට සංසාර ගමනේ දී බොහෝ කලකට පවා දක්නට නොලැබෙන ඉතාම පරම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එම මහඟු අවස්ථාව සියල්ලන්ටම සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමටද අවස්ථාව උදාවී ඇත. එම සඳහිරු සෑයේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමද උදාර පින්කමක් වනු ඇත.
සඳහිරු සෑය ජාති, ආගම්, ආදී කිසිදු භේදයකින් තොරව ඓතිහාසික පූජනීය වස්තුවක් ලෙසත්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන බුද්ධ පූජාවක් ලෙසත් සඳහිරු මහ සෑ ව්‍යාපෘතිය සඳහන් කළ හැකි ය. එම සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රිය පෙරහරෙන් වැඩම කරවීම මෙම 12 වන දා ආරම්භ කැරේ.
සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දා උදෑසන අරලියගහ මන්දිරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා වැඩම කරනු ඇත. ශ්‍රී දළදා මාලිගාවේ සිට නොවැම්බර් 13 වනදා අනුරාධපුරය වෙතද එම රිය පෙරහර පැවැත්වේ.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිය පෙරහරකින් වැඩම කරවීම.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දින උදෑසන අරලියගහ මැදුරේ සිට රිය පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා ද, 2014 නොවැම්බර් 13 දින ශ්‍රී දළදා මාලිගාවේ සිට අනුරාධපුරය වෙතද ගමන් ගැනීමට නියමිතව ඇත. එහි ගමන් මාර්ගය සහිත විස්තර පහත පරිදි වේ.
2014 නොවැම්බර් 12 දින පෙරවරු 09.00 ට අරලියගහ මැදුරින් ආරම්භ කරන රිය පෙරහර ලේක්හවුස්, මරදාන දුම්රිය හන්දිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, ඇල්දෙණිය බැලුම්මහර ඔස්සේ නිට්ටඹුව වෙත පෙරවරු 11.00 වන විටද වේවැල්දෙණිය, වරකාපොළ, නෙලුම්දෙණිය හරහා කෑගල්ල වෙත පස්වරු 02.30 වන විටද මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය පසුකරමින් මහනුවර වෙත පස්වරු 5.30 වන විට පැමිණීමට නියමිතව ඇත.
2014 නොවැම්බර් 13 දින පෙරවරු 09.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කර අඹතැන්න, මාවතපොල හරහා මාතලේ වෙත පෙරවරු 10.45 වන විටද පලාපත්වල, හුන්ගන්වල පසුකරමින් නාවුල වෙත පස්වරු 12.30 වන විටද ලේනදොර හරහා දඹුල්ල වෙත පස්වරු 02.00 වන විටද මඩාටුගම පසුකර කැකිරාව, වෙත පස්වරු 3.00 වන විටද මරදන්කඩවල වෙත පස්වරු 04.00 වන විටද ගල්කුලම වෙත පස්වරු 6.00 වන විටද කවරක්කුලම හන්දිය පසුකරමින් අනුරාධපුරය වෙත පස්වරු 07.00 වන විට ළඟා වීමට නියමිතව ඇත.
එම රිය පෙරහර ගමන් කරන මාර්ගයේ දී මඟ දෙපස සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මලින් පූජෝපහාර දැක්වීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවී ඇත. මෙම මස 14 වන දා සවස 5 ට රුවන්වැලි මහ සෑය අබියසදී විශේෂ කප්රුක් පූජාවක්ද, එමෙන්ම අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ අබියසදී ද ආගමික වතාවත් සිදු කෙරෙන අතර එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ද විශේෂ ආගමික වතාවත් සිදුකර එදින රාත්‍රී 9 ට පමණ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ සති පිරිත් දේශනාව සඳහා ගරුතර මහා සඟරුවන සඳහිරු සෑ පරිශ්‍රයට පුද පෙරහරෙන් වැඩම කරවනු ලැබේ. එදින රාත්‍රී සත් දින පිරිත් දේශනාවද ආරම්භ කැරේ.
මෙම මස 15 වන දා සිට 21 වන දා දක්වා එම ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා මහජනතාවගේ වන්දනාවට පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතී. සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය නිමිත්තෙන් මෙම 21 වන දා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දී විශේෂ බෞද්ධ සම්මන්ත්‍රයක්ද පැවැත්වේ. 23 වන දා ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ.

Tuesday, November 4, 2014

අනුරාධපුර රුවන්වැලි සෑය




ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට උතුරු දෙසින් හා ථූපාරාමයට දකුණු දෙසින් දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමු වන විශාල දාගැබ වශයෙන් සැලකෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.

රුවන්වැලි මහා සෑය
“කකුද” නම් වැව කෙළවර පිහිටවූ ටැම් ලිපියට අනුව ක්‍රි. පූ: 138 දී දුටුගැමුණු මහ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනඟන ලද බව සඳහන්ව ඇත. ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කොට ඇති බැවින් මහා ස්තූපය නමින් හඳුන්වන අතර, එනිසාම රුවන්වැලි මහා සෑය සැදැහැවතුන් හැම කෙනෙකුගේම ගෞරවනීය පූජනීයත්වයට පාත්‍රව ඇත.
වංශ කතාවල සඳහන්ව ඇති පරිදි මෙම ස්තූපයේ අවශ්‍ය බර පැන සඳහා අනුරාධපුර අවට ජනතාව විසින් රන් රිදී මුතු මැණික් හා තඹ ලබාදුන් අතර, ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් සූදානම් කරදුන් බව පැවසේ. පසුකාලීන අභයගිරිය හා ජේතවනය වැනි විශාල ස්තූප ගොඩනැගුණ නමුදු “ රුවන්වැලි සෑය”, “ මහා සෑය,” “ මහා ථූපය” යන නම්වලින් සඳහන් කළේ ස්ථූප ගොඩනැගීමේදී පසුකාලීනව තරගකාරී බවක් ඇතිවී තිබූ බැවිනි. කිසිඳු ස්තූපයක මේ තරම් සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කොට නොමැති බැවින් අසමාන වූ ස්තූපයක් හැටියට “ මහා ථූපය” නමින් රුවන්වැලි මහා සෑය හඳුන්වනු ලබයි. පසුකාලීනව “ රත්නමාලි”, “ස්වර්ණමාලි” “හේමමාලි”, “රුවන්වැලිසෑ” යන නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස් විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. ඉන්පසු ලඤ්ජිතිස්ස රජතුමා වේදිකාව මත හුණුගල් අතුරණ ලද අතර කල්ලාගරාජ රජු වේදිකාව වටා වැලි මළුව සෑදූ අතර භාතිකාභය රජු තෙමහල් පේසාවක් සාදවා මතුපිට බදාම තැවරූ අතර, මහාභාතික මහානාග රජු ඇත් පවුර පුළුල් කර වැලිමළුව සාදවා ඇත. මේ ආකාරයට රුවන්වැලි සෑය ගොඩනැඟීමේදී දුටුගැමුණු මහ රජතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන් පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන්ව ඇත.
වර්තමානයේ දක්නට ලැබෙන රුවන්වැලි මහා සෑය 1873 නාරංවිට සුමනසාර හිමියන් ප්‍රතිසංස්කරණය ආරම්භ කොට 1902 අගෝස්තු මාසයේ අනුරාධපුර රත්නමාලි චෛත්‍යය සංවර්ධන සමිතියට භාර කොට ඇත. වසර ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු 1933 දෙසැම්බර් මාසයේ හතරැස් කොටුවේ ධාතු නිධන් කොට ඇත. 1940 ජුනි මාසයේ පොසොන් පොහොය දා කොත් පැළඳීම සිදු කෙරිණි. වර්තමානයේ ස්තූපය මුදුනේ දක්නට ලැබෙන චූඩාමාණික්‍ය බුරුම රටෙන් ලබාගන්නා ලද එකකි. 1970 දී සලපතල මළුවේ ඉතිරිව තිබූ නටබුන් අනුව සාදන ලද පරිවාර ස්තූ®ප හතරේ කොත් පළඳවන ලදී. ප්‍රතිසංස්කරණවලින් පසුව වර්තමානය වනවිට ස්තූපයේ උස අඩි 338 වන අතර පරිමාණය 942ක් වේ. රන් ආලේප කරන ලද කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යයේ උස අඩි 25 ක් පමණ වේ. අක්කර පහක ( 5 ) හතරැස් මළුව වටා පිහිටා ඇති මළුවේ එක් පැත්තක දිග අඩි 465 කි. පැරැණි ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් තනා ඇති අතර පැරැණි ඇත් පවුරේ කොටසක් ද ඊට පෙර මළුවේ පැවැති කොටසක් ද, අලුත්වැඩියා නොකළ බස්නාහිර දෙසින් කොටසක්ද දක්නට ලැබේ. දුටුගැමුණු මහ රජතුමා සිහිවීමට කළ ස්මාරකයක් ලෙස හා ද්‍රෝණයක් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ නිධන් කොට තැනූ අනුස්මරණීය පූජනීය වස්තුවක් ලෙස මෙම ස්තූපය ඉතිහාසයට එක්වී ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

මහා විහාර භූමියේ පූජනීය ස්ථාන අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රුවන්වැලි සෑයට දකුණු දෙසින් පිහිටා ඇති අතර දෙවන පෑතිස්ස රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව බුදුරජාණන් වහන්සේ පිටදුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළ බවට ඉතිහාසයේ වංශ කතාවල සඳහන්ව ඇත.
ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කිරීමට දෙවන පෑතිස් රජු අඩි 21 ක් උසින් යුත් ගොඩැල්ලක් තනා ඇත. එහි දිග අඩි 71 ක් වූ අතර පළල අඩි 57 ක් තිබුණ බව සඳහන් වේ. මාලක කිහිපයකට බෙදන ලද මෙම ගොඩැල්ලේ පළමු මාලයේ ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලදී. බෝධි මළුව පිළිබඳව සඳහන් කිරීමේදී ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා පරිවාර බෝධීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. වන සතුන් බෝ මළුවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ අත්ථදස්සී නම් හිමි නමකගේ මූලිකත්වයෙන් විශාල කළුගල් ප්‍රාකාරයක් කරන ලද්දක් බවත්, එය උසින් අඩි 10 ක් බවත් සඳහන් වේ. වර්තමානය වනවිට මෙම භූමිය තුළ තිබෙන යම් යම් ගොඩනැගිලිවල මුල්ම කාලයේ ස්වරූපය අද දක්නට නොලැබුණත්, ඊට වඩා දියුණු තත්වයෙන් මහජනයාගේ පහසුව සඳහා නොයෙක් ආකාරයේ අංගෝපාංග එකතු වී ඇත.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් තනා ඇති විහාර ගෙයි, පළමුවෙන්ම තනවා ඇත්තේ වසභ රජතුමාය. ඉන්පසු විවිධ වූ රජවරුන් යටතේ මෙම විහාර ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. අනිමිස ලෝචන ප්‍රතිමාව නමින් හැඳින්වෙන ගලෙන් නෙලන ලද බුදු පිළිමයක් ඇත් දළ පවුරෙන් වටවූ මළුවේ දකුණු පසින් දක්නට ලැබේ. මෙයට අමතරව සත් සතිය නමින් තවත් කුඩා පිළිම ගෙවල් කිහිපයක් ද (වර්තමානයේ දක්නට නැත ) නාගයකු පිටට නෙරවපු කැටයම් කරන ලද නාග කුලුනද මළුවේ දක්නට ලැබේ. මේවා වර්තමානයේ සුළු වශයෙන් වෙනස් වීමට භාජනය වී ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලික කරගෙන විවිධ ආකාරයේ පුද පූජා, චාරිත්‍ර විධි වර්තමානයේදීත් එපරිදිම පවත්වනු ලැබේ. ප්‍රධාන වශයෙන්ම බෝධීන් වහන්සේ මූලික කරගෙන උත්සව අවස්ථා හතරක් පවත්වනු ලැබේ.
(භාග්‍යවතුන් වහන්සේ සක්වල සහ අපි – තෙවන කොටස)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!.
ප්‍රවේශය
සාරාසංඛ්‍ය කල්පලක්‍ෂාධික කාලයක් මුළුල්ලෙහි අනුන්ගේ දුකින් දුක්පත් වූ, අනුන්ගේ සුවයෙන් සුවපත් වූ, අනුන් උදෙසා නිවනක් හල, සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් “සසර” වැනි තැනකට නොභියව බැසගත්, ඇසක් වැනි අවයවයක් උදුරා දන් දුන්, හදවතක් වැනි නොසිතිය හැකි තැනක් පලා මස් දන් දුන්, දරුවන් වැනි රැකිය යුතු වූවන් ගැති කොට දී, ලය ස්නේහ ඇති අඹුවන් වැනි සතුකොට විසිය යුත්තන් ඉල්ලූවන් අත තබා දන් දුන්, “රජ” යයි නොසිතා වනයට වන්, ධන යයි නොසිතා යාචකයන් දොරින් දොර හල, තමා මහත් වූ පුරුෂයෙකි යි නොසිතා අනුනට කයින් මෙහෙ කල, හිස යයි නොසිතා කපා දන් දුන්, මස යයි නොසිතා සැතින් ලියා දන් දුන්, ලේ යයි නොසිතා සැතින් පලා දන් දුන්, දානාදී පාරමී පූරණ බලයෙන්ම උතුම් බෝමැඩ වැඩ හිඳ ස්ව ක්ෂේත්‍ර වූ වජ්‍රාසනයට උරුමව අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයෙහි චතුරංග සමන්නාගත මහා විරිය කල, සියලු දෙවි බඹුන් බියව පලා යද්දී මහත් බල ඇති කම් ලොවට අධිපති වසවර්ති මාර තෙම පරාජය කොට, සකල ක්ලේශ මාරයන්ද දවා හල, ධර්ම රාජ්‍යය කල, ධර්මස්වාමී වූ මගේ ස්වාමී වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු ඇසින් දුටු, ප්‍රඥා ඇසින් බලා දෙසූ,  දෙවියන්ගේ තතු දහමෙහි එන පරිදි මෙහි ලියනු ලැබෙයි. සැඳැහැඇත්තෝ අසත්වා!!!
ආරම්භය
“දෙවියෝ” යන මේ වචනය තරම් මනුෂ්‍ය වර්ගයා අතර කුතුහලය දනවන ලෙසින් මුල් බැසගත් අනෙක් වචනයක් නැති තරම්ය. දෙවියන් පිලිබඳ මනුෂ්‍ය ආකල්ප අදහස් සහ ඉගැන්වීම් අතිශය සංකීර්ණ, පුළුල් සහ විසිතුරු වෙයි. කෙසේ වෙතත් වාසනාවකට මෙන් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපට අන් කවර පිරිසකටත් වඩා දෙවියන් පිලිබඳ මිත්‍යා වලින් බැහැර වූ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමටත්, දෙවියන් අතර ඉපදීමටත් දෙවියන් වෙතද පවතින් සසර බියෙන් නිදහස් වීමටත් බග විවරව තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් නිසාමය. මෙම ලිපියෙන් ශ්‍රී සද්ධර්මය පුරාවට දෙවියන් පිළිබඳව පවතින තොරතුරු නිරවුල් අනුපිලිවෙලකින් සටහන් කිරීමට අපේ ශක්ති පමණින් උත්සහ කරනු ලැබෙයි. දෙවියන් පිළිබඳව සහ දිව්‍ය ලෝක පිළිබඳව විස්තර සහිත දේශනා සටහන් කරන්නට පෙර ඒවා නිරවුල්ව තේරුම ගැනීමට හැකි වන පරිදි දෙවියන් සම්බන්ධයෙන් පොදු කරුණු සහ විශේෂ කරුණු කිහිපයක් පළමුව විස්තර කරනු ලැබේ.
“දේවතා”, “දේව” යනුවෙන් ධර්මයෙහි හඳුන්වන්නේ සසරෙහි සැරිසරන සත්ත්ව කොට්ඨාශයකි. දිව්‍ය තල වශයෙන් ගත කල සදිව්‍ය ලෝකයක් ගැන පැහැදිලි දේශනා හමුවෙයි. නමුත් බොහෝ විට “දේවතා” යන වචනය සඳහන් දහම් කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ එමගින් දෙවියන් මෙන්ම බ්‍රහ්මය්න්ද බොහෝ විට හඳුන්වා ඇති බවයි. ඒ අනුව පොදුවේ ගත කල සියලු දෙවියන් ද බ්‍රහ්මයන්ද “දේවතා” නැතහොත් “දේව” යන බෞද්ධ හැඳින්වීමට අයත් වෙයි.
කියන ලද පරිදි දෙවියන්ද තවත් සත්ත්ව කොට්ඨාශයක් වන බැවින් ඔවුන් පොදුවේ ධර්මයෙහි හැඳින්වෙන පංච උපදානස්කන්ධ (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන)  වල ක්‍රියාකාරීත්වයෙන් සැකසී ඇත. එනිසා දෙවියන් පිලිබඳ කරුණු කීමට ප්‍රථම “සත්ත්වයා” යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ කවරක්ද යන්න ගැන යම අවබෝධයක් ලැබීම සුදුසුය. චිත්ත, මනෝ නැතහොත් විඥාන යනුවෙන් හැඳින්වෙන සිත, මනස හෙවත් විඥානය සියලු සත්ත්වයන්ට පොදු වූ ප්‍රධානතම අංගය වෙයි. මෙහිදී සිත් උපදීම මහා කල්ප පන්සියයකට තාවකාලිකව නවතා දමා ඇති “අසඥසත්ත්වය”, “අසංඥීතලය” නම් බ්‍රහ්ම තලයක්ද ඇති බව සටහන් කොට තැබීම සුදුසුය. කියන ලද පරිදි  “සත්ත්වයා” යනු පංචඋපාධානස්කන්ධයම බැවින් දෙවියන් යනුද පංචඋපාදානස්කන්ධයන් ම වෙයි. ඒ නිසා දෙවියන්ට රූපයක් තිබේ. වේදනා දැනෙයි. දෙවියන්ද සැප දුක් විඳිනු ලැබෙයි. දෙවියන්ටද සිත් පහල වෙයි. දෙවියන්ද චතුරාර්ය සත්‍යඅවබෝධයෙන් නිවන් දකින තෙක් කෙලෙස් සහිතය. එනිසා දෙවියන්ද පින් පවු හෙවත් කුසල් අකුසල් රැස්කරයි. නමුත් දිව්‍ය උපත, නැතහොත් දෙවියන් අතර උපත ලැබීම “සුගතිය”කි. දෙවියන් සැප දුක් විඳින බව ඉහතින් කියනු ලැබූවද දෙවියන් මනුෂ්‍යයන්ට සහ අනෙකුත් සත්වයන්ට සාපේක්ෂව විඳිනු ලබන්නේ අතිශයින් ඉහල සැපතකි. සමහර දිව්‍ය තලයන්හි “දුකක්” යනුවෙන් විශේෂයෙන් කිවහැකි කායික හෝ මානසික වේදනා විශේෂයක් නැති තරම්ය. එනිසා බොහෝ විට දෙවියන් විෂයෙහි “දුක” යන්න විග්‍රහ කෙරෙන්නේ සාමාන්‍ය  “දුක් විඳින” යන අරුතින්ම නොව “විපරිණාම දුක්ඛ” නැතහොත් අස්ථිර අනිත්‍ය යන අදහසින් කියවෙන ගැඹුරු වූ උතුම් දුක්ඛ සත්‍යයට අදාළ දුකකි.

දෙවියන්ගේ උපත
අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික යනුවෙන් සියලු සත්ත්වයන් උපදින යෝනි නොහොත් ආකාර සතරක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබේ. අණ්ඩජ යනු “අණ්ඩ” හෙවත් බිත්තරයකින්, බීජයකින්, කටුවකින් වටව, සිවියකින් වටව තිබෙන තත්ත්වයෙන් පහල වී එයින් උපදින සත්ත්වයන්ය. කුකුලන්, බොහෝ පක්ෂීන්, බොහෝ මත්සයන් ආදී සතුන් මෙම යෝනියෙන් උපදී.
“ජලාබුජ” යෝනියෙන් ප්‍රධාන වශයෙන් අදහස් කෙරෙන්නේ මවු කුසකින් උපදින සත්ත්වයන්ය. මවු කුසක ද්‍රවමය තරලයක් මත වැඩී ඉන් උපදින සත්ත්වයන් යන අරුත මෙහි තිබේ. බහුතර මනුෂ්‍යයන්, සිවුපාවුන් වැනි තිරිසන් සතුන් ආදීන් මේ යටතට ගැනෙයි.
“සංසේදජ” සත්ත්වයෝ යනු දිය සීරාව, තෙතමනය සහිත, කුණු, මුත්‍ර, අශුචි ආදී අපිරිසිඳු තන්හි ඒ ඒ ස්ථාන ඇසුරුකොටගෙන උපදින ඒවායෙහි වැඩෙන සත්ත්වයෝය. සමහර තිරිසන් සත්ත්වයෝ (සමහර පණුවන්, කෘමීන් ආදී), සමහර ප්‍රේතයෝ මෙසේ සංසේදජ යෝනියෙහි උපදිති.
“ඕපපාතික” සත්ත්වයන් වනාහි ඒ ඒ කුසල අකුසල කර්මානුරූපව සියලු අංග ප්‍රත්‍යංග සහිතව, පිරිපුන් ශරීරයෙන් එකවර පහල වන සත්ත්වයෝය. ප්‍රධාන වශයෙන් චාතුම්මහරාජිකාදී සියලු දෙවියෝ, සියලු බ්‍රහ්මයෝ, බොහෝ ප්‍රේතයෝ, සමහර තිරිසන් සත්ත්වයෝ, බොහෝ අසුරයෝ මෙන්ම සියලු නිරය භූමීන්හි උපදින “නිරි සත්ත්වයෝ” මෙසේ ඕපපාතික යෝනියෙන් උපති.
මේ අනුව දෙවියන් ප්‍රධාන වශයෙන් “ඕපපාතික” යෝනියෙන් උපදින සත්ත්වයන් වෙයි. එනම් ඒ ඒ කාර්ම විපාක වලට අනුරූපව, ඒ ඒ චුති ප්‍රතිසන්ධි සිත් වලට අනුරූපව සියලු අංග ප්‍රත්‍යංග සහිත පූර්ණ ශරීර සහිතව දෙවියන් පහල වෙයි. තවද ඒ ඒ දෙවියන්ගේ පුණ්‍ය ශක්තීන්ට අනුරූපවම ඒ ඒ දෙවියන්ගේ සැප සම්පත් ලක්ෂණ ස්වරූප ආදියද ඕපපාතික උත්පත්තියේ දීම කර්මජ (කාර්ම විපාක වශයෙන්) ඒ ඒ දිව්‍ය තලයන්හි පහල වන බවට කරුණු තිබේ. දෙවියන්ගේ වාසස්ථාන, ආභරණ, වට පිටාවේ පරිසරය ආදිය මෙසේ පහල වන ආකාරය අතිශය විසිතුරුව ඒ ඒ කාර්ම විපාකයන්ට අනුව සැකසී පහල වන ආකාරය “විමානවත්ථු” ත්‍රිපිටක ග්‍රන්ථයෙහි මැනවින් විස්තර කෙරී ඇත්තේ අතිශය විසිතුරු විස්තර සහිතවය. දිව්‍යමය උපතක් ලබන්නේ පින් බලයෙනි. දෙවියන් අතර උපත ලැබීමෙහි පෙර භවයේ ශීලය විශේෂයෙන් බලපැවැත්වෙන බවත් එම භවයේ කරන ලද විශේෂ පුණ්‍යකාර්ම විශේෂයෙන් උපස්ථම්භක වන් බවත් කිව යුතුය.
දෙවියන් ප්‍රධාන වශයෙන් ආකාශස්ථ සහ භූම්‍යස්ථ වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරෙයි. ආකාශයෙහි හෙවත් පෘථිවි භූමියෙන් ඉහල පිහිටා තිබෙන “චාතුර්මහාරාජිකය” හි පටන් ඉහලට ඇති දිව්‍ය තලයන්හි දෙවියෝ “ආකාශස්ථ” වෙති. පෘථිවි භූමියට සම්බන්ධව එහි පිහිටා තින්බෙන “විමාන” නමින් හැඳින්වෙන අපේ ඉන්ද්‍රියට ගෝචර නොවන වාසස්ථාන ඇසුරුකොටගෙන පහල වී ජීවත් වන දෙවියෝ “භූම්‍යස්ථ” දෙවියන් වෙති. වෘක්ෂලතා ඇසුරෙහි විමාන වල සිටින “වෘක්ෂ දෙවියෝ”ය දාගැබ් වෙහෙර විහාර ආශ්‍රිතව වාසය කරන “ආරක්ෂක දෙවියෝ”ය සමහර පින් ඇති මිනිසුන්ගේ නිවාස, ගෘහ භාණ්ඩ, ධජ, ආදී ස්ථාන සහ ද්‍රව්‍ය ඇසුරුකොටගෙන ඇති විමානයන්හි වාසය කරන “විමාන දෙවියෝ”ය, සාගර, ගංගා, ආරණ්‍ය ආදී විශේෂ සුන්දර ස්ථාන වලට අධිගෘහිත “විමාන දෙවියෝ” ය, ඉතා කුඩා තෘණ ආදී පැලැටි ඇසුරෙහි පවා පහල වන “තෘණ දෙවියෝ”ය ආදී වශයෙන් අතිශය විශාල පරාසයක ඇති ප්‍රභල මෙන්ම බලයෙන් අඩු වූද ආයුෂ, වර්ණ, සැප, බල ආදියෙන් විශා‍ල පරාසයක විවිධත්වයක් සහිත වූද දිව්‍යමය උත්පත්ති ලැබුවෝ භූම්‍යස්ථ දෙවියන් අතර සිටිති. සියලු භූම්‍යස්ත දෙවියන්ද චාතුර්මහාරාජික දෙව් ලොව යටතේ ඊට අයත්වද සලකා පාලනය වන බව දක්වා තිබේ.
දෙව් සැප – දෙවියන්ගේ ශරීර ස්වභාවය, ශරීර ප්‍රභාව (ආලෝකය), ඉන්ද්‍රිය ශක්තිය.
ධර්මයෙහි සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ නිසැක වශයෙන්ම දෙවියන්ගේ ශරීර ස්වභාවය අපේ “චක්ඛුඉන්ද්‍රියට” සාමාන්‍ය තත්වයන් යටතේ ගෝචර නොවන සියුම් ස්වභාවයක්‌ ගන්නා බවයි. විශේෂයෙන් මනුෂ්‍ය ශරීරය තරම් භෞතිකය රළු නොවන සියුම් ශරීර ස්වභාවයක් සහිතව  දෙවියන්ගේ ශරීරය සැකසී ඇති බව පැහැදිලිය. තවද දෙවියන්ගේ ශරීරය විෂයෙහි සෑමවිටම පාහේ විශේෂයෙන් සඳහන් කෙරෙන කරුණක් වන්නේ ශරීර ප්‍රභාවයි. ඒ ඒ දෙවියන් සතු මහේශාක්‍ය බව, බලය, දෙවියන් අතර හිමි ස්ථානය ආදිය තීරණය වීමේදීද මෙම ශරීර ප්‍රභාව විශේෂ වැදගත් කමක් උසුලන බව උදාහරණ වලින් පෙනෙන්නට තිබේ. දිව්‍ය ශරීරයෙහි ප්‍රභාව අතිශය ප්‍රභල, අතිශයින් වර්ණවත්, හිරු සඳු ගේ ආලෝකය පරදවන මහත් වූ ආලෝකයකි. කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ මිනිස් ලොවට පැමිණෙන දෙවියන් විෂයෙහි මෙම අතිශය දීප්තිමත් ආලෝකය මනුෂ්‍යයන්ට ඉන්ද්‍රිය ගෝචර වන බවයි.
දෙවියන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය මනුෂ්‍යයන්ට සාපේක්ෂව සහ ඒ ඒ පහල දිව්‍ය තලයන්ට සාපේක්ෂව සියුම් සහ ප්‍රබල බව පෙනෙන්නට තිබේ. ඉහල ඉහල දිව්‍ය තලයන්හි දෙවියන්ට පහල පහල දිව්‍ය තලයන්හි දෙවියන් ඉන්ද්‍රිය ගෝචර වන නමුත් පහල දිව්‍ය තලයන්හි දෙවියන්ට ඉහල දිව්‍ය ගෝචර වීම සීමා සහිතය.  චාතුර්මහාරාජිකයේ දෙවියන් සහ තව්තිසා වැසි දෙවියන් අතර නම් විශේෂ සම්බන්ධතාවක් තිබෙන බව දක්වා ඇත. එම දිව්‍ය තල දෙකම “ශක්‍ර” නමින් හැඳින්වෙන තනතුර ලබන බලවත් දෙව්රජ කෙනෙකු යටතේ පාලනය වන බැවිනි.
දෙවියන්ගේ ඉන්ද්‍රිය පද්ධතියෙහි විශේෂයෙන් “දිව්‍ය ඇස” සහ “දිව්‍ය කන” (දිබ්බ සෝත/ දිබ්බ චක්ඛු) පිලිබඳ කරුණු සඳහන් වෙයි. අතිශය සියුම් දේ දැකිය හැකි අතිශය සියුම් දේ ඇසිය හැකි ඉතා දුර තිබෙන දේ දැකීමට හැකි ඉතා දුරින් හටගන්නා ශබ්ද ඇසීමට හැකි ඇස් කන් දෙවියන්ට හිමිය. දෙවියන්හට බොහෝ සෙයින් පරචිත්ත විජානනය සහ යම් ප්‍රමාණයක පුබ්බේනිවාසානුස්සති ඥානයක් හිමිවන් බව පෙනෙයි. මෙම ශක්තීන්හි විවිධ වෙනස්කම්, මට්ටම් සහ විවිධත්වයන් දක්නට තිබේ.
භෞතික බාධාවන්ගෙන් තොර අතිශය වේගවත් චලන ශක්තියක්ද දෙවියන් සතුය. සියුම් ශරීර සහිත දෙවියන් පහසුවෙන් විශේෂ ආධාර රහිතවම මනුෂ්‍ය ලෝකය ඇතුළු වෙනස් ස්ථාන වලට ගමන් කරන බව දක්වා ඇත.
ඒ ඒ දිව්‍ය තලයන්හි විවිධාකාර විමානයන් පිහිටා තිබේ. මහා ප්‍රසාදයන් සහිතව, අතිශය ප්‍රසන්න වූ අලංකාර ගංගා ජලාශ, අලංකාර වෘක්ෂලතා, දිව්‍යමය සුගන්ධයෙන් යුත් මල් පල ආදිය දෙවියන් සතුය. මනරම් උයන්, විසිතුරු බලවත් දිව්‍යමය සතුන් (මෙම සතුන් තිරිසන් අපායට  අයත් නොවන දිව්‍යමය ප්‍රතිසන්ධි ඇති සත්ත්වයෝය. සමහර එවන් දිව්‍යමය සතුන් අවස්ථානුකූලව එම සත්ත්ව ස්වරූප ගන්නා දේව පුත්‍රයෝ වෙති.), සප්ත රත්නයන් සහ මහත් වූ මාණික්‍ය රත්නයන් දෙවියන් සතු වෙයි.
භූම්‍යස්ථ දෙවියන්ගේ ආයුෂ පිළිබඳව නිශ්චිත කාල පරාසයක් නැත. අදාළ කාර්ම විපාකය ඇති තාක් ඔවුනට ආයුෂ තිබේ. දින සතේ සිට කල්පයක් දක්වා ආයුෂ ඇති භූම්යස්ථ දෙවියෝ වෙති. චාතුර්මහාරාජිකය ඇතුළු අනෙකුත් දිව්‍ය තලයන්ට අදාල නිශ්චිත ආයුෂ ප්‍රමාණයන් කියා ඇත. පෙර ලිපියෙහි සඳහන් කරන ලද නමුත් පහසුව උදෙසා නැවත මෙහි එම වගුව දක්වනු ලැබේ.
ඉතාම විශේෂ අවස්ථා හැරුණු කොට බොහෝ සෙයින් දෙවියන් පරමායුෂ විඳින බව පෙනෙන්නට තිබේ. දිව්‍ය සැප යනුවෙන් හඳුන්වන්නේද ඉතා ඉහල කාම සම්පත්තීන්ය. කාමයෝ යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රීන් පිනවීමට උපකාර වන විවිධ වස්තූන් වෙති. දිව්‍යමය ආහාර, දිව්‍ය ප්‍රභාව සහිත, වර්ණවත් සියුම් සුවදෙන වස්ත්‍රාභරණ, රූපශ්‍රීයෙන් අනූන දිව්‍යාංගනාවන්, දිව්‍ය විමාන ආදී විසිතුරු විචිත්‍ර සම්පත් ඇසුරෙහි දෙවියන් කම් සැප විඳියි. තවද මනුෂ්‍යයන්ට මෙන් නොව ඉතා දීර්ඝ කාලයක් ඊකාන්ත වශයෙන් යම් කම් සුවයක පහස විඳිමින් සිටීමට දෙවියන්ට හැකියාව තිබේ. දිව්‍යමය ක්‍රීඩා, රති සුව වින්දනය දෙවියන් සතු කාමයන්ට අයත් වෙයි. නමුත් බොහෝ සම්යග්දෘෂ්ටික දෙවියන් කම් සැපෙහි නියැලී නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි පිහිටා ශීලාදී ගුණධර්මයන්හි කුශල කර්මයන්හි යෙදෙන බවටත් දානාදී කුශල කර්මයන්හි උත්සාහවත් වන බවටත් බොහෝ කරුණු තිබේ.

කාමාවචර භූමි    (කාම සුගතිය)
කාමාවචර භූමි    (කාම සුගතිය)ඉහලට ඇති දුර ආසන්නතම තලයේ/ලෝකයේ සිටය
පිහිටීම ඉහලටදිනකට මනුෂ්‍ය වර්ෂආයුෂ(දෙව්ලොව  වර්ෂ වලින් )මුළු ආයුෂ මනුෂ්‍ය වර්ෂයෙන්
සදෙව් ලොව6පරිනිම්මිත වසවත්තියයොදුන් 42000160016000අවු: 92,160,00000
5නිම්මාණරතියයොදුන් 420008008000අවු: 23,040,00000
4තුසිතයයොදුන් 420004004000අවු: 5,760,00000
3යාමයයොදුන් 420002002000අවු: 1,440,00000
2තාවතිංසය (තව්තිසාව)යොදුන් 420001001000අවු: 360,00000
1චාතුර්මහාරාජිකයයොදුන් 4200050500අවු: 90,00000
මනුෂ්‍ය ලෝකය – ආයුෂ අවුරුදු 10 සිට අවුරුදු අසංඛ්‍ය 10140 විහිදෙයි.(චාතුම්මහාරාජිකයට යොදුන් 42000 ක් පහලින් සංජීවයට යොදුන් 15000 ක් ඉහලින් පිහිටා ඇත.)
ඉහලට ඇති දුර ආසන්නතම තලයේ/ලෝකයේ සිටය (යොදුනක් යනු සැතපුම් දහසයකි)

දෙවියන් අතර ඉපදීමටත් දිව්‍ය සැප සම්පත් ලඟා කර ගැනීමටත් නිවන් දක්නා තෙක් සතර අපායෙහි දුකට නොවැටී සිටීමටත් අතිශය පිරිපුන් උතුම් වූ මගපෙන්වීම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙහි ඇතුලත් වෙයි. දන් දීම, ශීලය පරිපූර්ණ කිරීම සහ “දෙවතානුස්සතිය” වැඩීම එහිදී විශේෂ වෙයි. දෙවියන් අතර ඉපදීමට කැමති යම් පිවත් කෙනෙක් වෙත්නම් ඒ ඒ දෙවියන් දිව්‍යමය උත්පත්තීන් ලබා ගැනීම උදෙසා යම් ප්‍රතිපදාවක් ගන්නා ලද්දේද ඒ ප්‍රතිපදාවන්හි නියැලිය යුතුය. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු ගති දන්නා සේක. ඒ ඒ ගතියට පැමිණෙන මාර්ගයද දන්නා සේක.
මජ්ඣිමනිකාය මහාසීහනාද සූත්‍රයෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද පරිදි භාගවතුන් වහන්සේ යම් සත්ත්වයක් දෙවියන් අතර උපදින මාර්ගය ඒකාන්ත වශයෙන් දන්නා සේක. උන්වහන්සේ මෙහෙ දේශනා කොට වදාළ සේක.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති  මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය  උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය  වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප  ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
මෙසේ සියලු ගති දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ අපට “දෙවතානුස්සතිය” වැඩීමට මගපෙන්වා වදාළ සේක. දෙවියන් විෂයෙහි පවත්නා විශේෂ ලක්ෂණ පහක් ඇසුරින් දෙවතානුස්සතිය වැඩිය හැකිය. සද්ධා, ශීල, සුත, චාග, ප්‍රඥා යනු එම උතුම් ධර්මයෝ වෙති.
දෙවියන් අතර ඉපදුනු සත්ත්වයන් එසේ දිව්‍යමය උපතක් ලබා ඇත්තේ ශ්‍රද්ධාව, ශීලය, ධර්මය අසනලද සහ ධාරණය කර ගන්නා ලද බව, ත්‍යාගශීලී බව, ප්‍රඥාවන්ත බව යන ගුණ ධර්ම වැඩීම, බහුල ලෙස පුහුණු කිරීම, එම ගුණ ධර්මයන්හි පිහිටා සිටීම හේතුවෙනි. එනිසා දෙවියන් හා එක් වීමට කැමති අප සියලු දෙනාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි ශ්‍රද්ධාවට පැමිණීමත්, නීති පංචශීලය සහ විශේෂයෙන් මසකට දින කිහිපයක් වත් උතුම් වූ පූර්ණ උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් වීමත්, ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ඉගෙනීමත් එය දැරීමත්, ත්‍යාගශීලී ගුණයෙන් යුතුව සංඝයා උදෙසාත් සිල්වත් අන්‍යයන් උදෙසාත්, අසරණයන් උදෙසාත් දන් දීමත්, දශ පුණ්‍ය ක්රියාවන්හිම යෙදෙමින් දෘෂ්ටිය සෘජු කරගනිමින් ප්‍රඥාව වර්ධනය කර ගැනීම උදෙසාත් කටයුතු කල යුතුය.
එසේ එම ගුණ ධර්ම පහ දියුණු තියුණු කරගැනීමෙන් ඔබට “දෙවතානුස්සතිය” වැඩීමට ශක්තිය අවකාශ ලැබේ. දෙවතානුස්සතිය වැඩීම පිළිබඳව අතිශය සංක්ෂිප්ත විස්තරයක් මෙසේය.
තිසරණ සහිත පංච ශීලය සමාදන් වී හෝ අෂ්ටාංග ශීලය සමාදන් වී හෝ ශීලයෙහි පිහිටා මෙහෙ මෙනෙහි කල යුතුය.
යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ශ්‍රද්ධාවකින් යුක්ත වේද, මමද එබඳු වූ ශ්‍රද්ධාවකින් යුක්ත වෙමි.
යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ශීලයකින්  යුක්ත වේද, මමද එබඳු වූ ශීලයකින්  යුක්ත වෙමි.
යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් සුත ගුණයකින් යුක්ත වේද, මමද එබඳු වූ සුත ගුණයෙන් යුක්ත වෙමි.
යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් චාග ගුණයෙන් යුක්ත වේද, මමද එබඳු වූ චාග ගුණයෙන්  යුක්ත වෙමි.
යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ප්‍රඥාවකින් යුක්ත වේද, මමද එබඳු වූ ප්‍රඥාවකින් යුක්ත වෙමි.
මේ අයුරින් ඒ ඒ දිව්‍ය තලයන් වෙන් වෙන් වශයෙන් ගෙන මෙනෙහි කිරීමටත් වැඩීමටත් කටයුතු කල යුතුය. එය ඔබට දෙවියන් අතර ඉපදීමට නිසැකව හේතුවන දහම් මගකි.
දෙවියන් පිලිබඳ මේ ලිපි පෙළ අප සකසන්නේ හුදෙක් ඒ ගැන විස්තර කියවීමන් තර්ක කිරීමෙන් වින්දනයක් ලබා ගැනීමට නොව, අප සියලු දෙනාටම සුගති මග විවර කර ගැනීමට හැකි වන පරිදි අපේ දෘෂ්ටිය සෘජු කර ගැනීමටත් කුසල් දහම්හි උනන්දු කිරීමටත් කටයුතු කිරීමේ අරමුණෙනි. දෙවියන් පිලිබඳ ලිවීමට සහ සකස් කිරීමට ඇති කරුණු සහ නිරවුල්ව සටහන් කල යුතු කරුණු අතිරාශියකි. නාග ලෝකය, ඒ ඒ දිවය ලෝකයන්හි විශේෂ විස්තර, දෙවියන්ට ඇති විශේෂ ප්‍රශ්න, සම්‍යග් දෘෂ්ටික සහ මිත්‍යාදෘෂ්ටික දෙවිවරු, අන්‍යාගම් වලට සම්බන්ධ දෙවි වරු, මැවුම්වාදය සහ නිර්මාණ වාදයට සම්බන්ධ දෙවිවරු, භූම්‍යස්ථ දෙවි වරු, ගාන්ධර්වයෝ, යක්ෂයෝ, කුම්භාණ්ඩයෝ යන විශේෂ දිව්‍ය නිකායයන් ආදිය ගැන විශේෂ කරුණු දැක්විය යුතුය. එනිසා, ලිපි ගණනාවකින් එම කරුණු ඉදිරිපත් කරමින් ඒ ඒ සෑම ලිපියකින්ම ධර්මය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීමට අවශ්‍ය දේශනා උපුටා දක්වමින්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඊළඟ ලිපියෙන් භාග්‍යවතුන් වහන්සේගේ මහා සාමය සූත්‍ර දේශනාව සඳහා පැමිණි දෙවියන් පිලිබඳ විස්තර සහ තවත් කරුණු රාශියක් පලපොරොත්තු වන්න.
තෙරුවන් සරණයි!!!
සසිත් රාජසූරිය

මූලාශ්‍ර
මජ්ඣිම නිකාය- මහා සීහනාද සූත්‍රය
විමානවත්ථු පාලි
පේතවත්තු පාලි
අභිධර්මාර්ථ ප්‍රදීපිකාව
විශුද්ධි මාර්ගය

Monday, October 27, 2014

ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාළිගාව


(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය1595
නිර්මාතෘ(න්)පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා)අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′38″N 80°38′19″Eඛභ්ඩාංක7°17′38″N 80°38′19″E
වෙබ් අඩවියwww.sridaladamaligawa.lk
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

වෙනත් නම්

දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.

දළදා වහන්සේ

මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.

දළදා මාළිගාවේ පිහිටීම

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

Dalada Maligawa Sri Lanka H.jpg
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දළදා මාළිගයේ ගොඩනැගිලි

වැඩසිටින මාළිගය

අලුත් මාළිගය

පත්තිරිප්පුව

ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.

දියවඩන නිළමේ තනතුර

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.

සිව් මහා දේවාල

දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවාසෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
  1. නාථ දේවාලය
  2. විෂ්ණු දේවාලය
  3. කතරගම දේවාලය
  4. පත්තිනි දේවාල

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

Kandy-llibresagrat3.jpg
Kandy-llibresagrat2.jpg
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
  1. සමාධි පිළිමය
  2. පැරණි ධාතු කරඩුව
  3. සිරි පතුල
  4. රිදී කලය
  5. කැටයම් කරන ලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.
දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,

ආශ්‍රිත ලිපි

පින්තූර ගැලරිය