Sunday, March 29, 2015

ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.
සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.
ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.
මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.
මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.
මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.
තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.
මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.
මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)
මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.
මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.
මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.
මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.
මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.
මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි.
මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය.
අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.
ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.
(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )
මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි

කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය

කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අත්තාහි අත්තනෝ නාථෝ
කෝහිනාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
සැදැහැවත් පින්වතුනි,
අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම් පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි පිහිට ලබන්නේය”
මේ අනුව පැහැදිලි වන්නේ කිසිම පුද්ගලයෙකුට පිහිට වීමට වෙනත් කිසිවෙකුටත් බැරි බවත්, තමාගේ පිහිට තමා විසින්ම ළඟා කරගත යුතු බවත්ය. මෙහි 'පිහිට 'යනුවෙන් අදහස් කළේ තමා විසින්ම කුසල් කිරීමෙන් නිවන් මග අවබෝධයට සුදුස්සෙකු වීමයි. එය කළ හැක්කේ තමාටමයි. වෙනත් අයෙකුට එය කළ නොහැකිය.
තමන් හිසට තම අතමය සෙවණැල් ල
අනුනු බලා සිටියොත් නම් වැනසිල් ල
කළහොත් මනාකොට සය ඉඳුරන් මෙල් ල
ලැබගත හැකිය ලොව්තුරු අම සැනසිල් ල
මෙම කවියෙන්ද හෙළි වන්නේ තමාගේ කටයුතු තමාම කරගත යුතුය. වෙනත් කෙනෙකු කර දෙන තුර බලා සිටීම දුකට හේතුවක් බවයි.
මාතෘකා ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැවැත්නුවර ජේතවනාරාමයේදි කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරභයායි. එම කතා පුවත සැකෙවින් මෙසේය.
රජගහනුවර සිටි එක් සිටු දුවක් යමක් තේරුම් ගැනීමට හැකි වයසට පත් වූ පසු පැවිදි වීමට බලවත් ආශාවක් දැක්වූවාය. එහෙත් දෙමාපියන්ගෙන් ඇයට ඒ සඳහා අවසරයක් නොලැබූ වැඩිවියට පත්වූ ඇය පතිකුලයට ගොස් සැමියා ගේ නිවසේ පතිනියක්ව වාසය කළාය. වැඩිකල් නොගොස් ඇයගේ කුස තුළ දරු ගැබක් හට ගති. එහෙත් ඒ බව ඇය නොදත්තාය. සැමියාගෙන් පැවිදිවීමට අවසර ඉල්ලීය. එයට කැමැති වූ සැමියා මහත් සත්කාර කොට ඇය භික්ෂුණි අසපවුකට ගෙන ගොස් පැවිදි කරවීය. නොදැනුවත්ව ඇය පැවිදි වූයේ දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුණි අසපුවකයි.
ටික දිනකින් භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැක එසේ වීමට හේතු විමසීය. එහිදී ඇය තමාගේ නිර්දෝෂිභාවය හෙළිකරන ලදී. සීලයට හානියක් නොවූ බව පැවසුවාය. පසුව මේ බව දෙව්දත් තෙරුන්ට සැලකිරීමෙන් ඇය උපැවිදි කරන ලෙස භික්ෂුණීන්ට දන්වන ලදී. එහිදි එම භික්ෂුණිය තමා දෙව්දත් තෙරුන් උදෙසා පැවිදි නොවූ බවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් පවසා උන් වහන්සේ වෙත පමුණුවන්නැයි ඉල්ලීය. එම භික්ෂුණීහු ඇය දෙව්රම් වෙහෙරේදී බුදුරජාණන් වහන්සේ හමුවට පත් කරන ලදී. උන්වහන්සේ ඇය ගිහි කාලයේ මෙම ගර්භය පිහිටි බව දැන අන් අයගේ චෝදනාවෙන් ගැලවීම සඳහා මේ ගැන පරීක්ෂණයක් කරවන ලදී.
ඒ සඳහා කොසොල් රජතුමා, අනේපිඩු සිටුතුමා, විශාඛා උපාසිකාව ඇතුළු පිරිස ඉදිරියේ උපාලි තෙරුන්ට ප්‍රශ්නය විසඳීමට නියම කරන ලදී. උපාලි තෙරුන් වහන්සේ කොසොල් රජු ඉදිරියේ විශාඛාව කැඳවා ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. විශාඛාව යටතිර ඇද ඇයගේ අත්පා නැබ, උදරය ආදිය පරීක්ෂා කර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටා ඇති බව තීරණය කොට තෙරුන්ට ඇගේ නිවැරැදිභාවය ප්‍රකාශ කරන ලදී. උපාලි තෙරුන් ඒ බව පිරිස මැද ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඇයගේ දරුගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුරදුන් කල කරන ලද ප්‍රාර්ථනයක් අනුව මහත් ආනුභාව ඇති පුතනු කෙනෙක් බිහි කළාය. දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවෙකුගේ ශබ්දය අසා ඒගැන විමසා දරුවා මාලිගයට ගෙන ගොස් කිරි මව්වරුන්ට භාර කරන ලදී. නම් තබන දින කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුණ බැවින් කුමාර කස්සප නමින් හැඳින්වුනි.
ළමා වයසේදී එම සම වයස් දරුවන් සමග සෙල්ලම් කරද්දී අනෙක් දරුවන්ට පහර දුන් විට මව පියා නැති එකා අපට පහර දුන්නේ යයි කී විට, රජුවෙත පැමිණ තම මව් කව්දැයි විමසූවිට කිරි මව්වරු මව් ලෙස පෙන්වුවත් එය භාර නොගත් බැවින් ඇත්ත හෙළි කිරීමට සිදුවිය. දරුවාගේ මව භික්ෂුණියක් බව ප්‍රකාශ කළ විට බලවත් කම්පාව ට පැමිණ පැවිදි වීමට රජුගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වීය. උපසම්පදාව ලබා කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ වූහ.
කුමාර කාශ්‍යප තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන්ගෙන භාවනා කළත් අධිගමයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබා ගැනීමේ අදහසින් අඹ වනයේ සිටින කල කාශ්‍යප බුදුරදුන් කාලයේ එකට මහණදම් පිරූ අනාගාමි ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් කුමාර කාශ්‍යප තෙරුන්ගෙන් ප්‍රශ්න 15 ක් විමසා මේවා බුදුරදුන් හැර වෙනත් අයෙකුට විසඳීමට නොහැකි බව පැවසූයෙන් කුමාර කාශ්‍යප තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ එම ප්‍රශ්නවලට පිළිතුරු දැන ගැනීමත් සමඟ රහත් බවට පත්විය.
කුමාර කාශ්‍යප තෙරුන්ගේ මව් භික්ෂුණිය තම පුතුගෙන් වියෝව දුකෙන් කල් ගත කළාය.දිනක් තම පුතු අතුරු පාරකින් යනු දැක පුතා පුතා යයි අඬගැසුවාය. පය පැකිලී බිම වැටුණාය. ගැලවුන සිවුරද අතින් රැගෙන දුව ගොස් පුතුගේ අතින් ඇල්ලුවාය. කුමාර කාශ්‍යප තෙරුන් ඇයගේ දරු සෙනෙහස නැති කිරීම සඳහා කතා කරමින් “මොකද මේ කරන්නේ තවමත් දරු ස්නේහය නැති කර ගන්න බැරි වුණා දැයි” විමසීය. දෙතුන් විටක්ම දැඩි ලෙස කතා කළෙන් පුත්‍ර ස්නේහය දුරු කොට එදිනම ඇය රහත් වූවාය.
පසු කලෙක දම් සභා මණ්ඩපයේදී භික්ෂූන් කුමාර කාශ්‍යප තෙරුන් හා මෑණියන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වූ බව ප්‍රකාශ කලෙන් බුදුන් වහන්සේ වැඩමවා දැන් මතු නොවෙයි පෙරද මොවුන්ට මා පිහිට වූයේයයි පවසා නිග්‍රෝධ ජාතකය දේශනා කළහ. එකල ශාඛ මිග දෙව්දත් වු බවත්, නිග්‍රෝධ මිග බුදුන් වහන්සේ වූ බවත්, මරණයට නියම වූ මුව දෙන කුමාර කාශ්‍යප මාතාව බවත්, දේශනා කළහ. දරු සෙනෙහස දුරු කර තමන්ට පිහිට තමන්ම බව ඔප්පු කරමින් කුමාර කාශ්‍යප මාතාව රහත් වූවාය.
මේ අනුව හැම කෙනෙකුටම තමාගේ පිහිට මිස වෙනත් කිසිවෙකුගේ පිහිටක් නැති බව පැහැදිලි වේ. බොහෝ මිනිස්සු තමාගේ දෑසට නොපෙනෙන අදෘශ්‍යමාන දෙවි කෙනෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ ඇතැයි විශ්වාස කොට ඔවුන්ගේ පිහිට පැතීම දක්නට ලැබේ’.
බුදු දහම පුද්ගල නිදහස අගය කරමින් තමාගේ විමුක්තිය තමා විසින්ම සාදාගත යුතු බව උගන්වයි. ඔබ විසින් උත්සාහ කටයුතුයි. කෙලෙස් තැවීම දැවීම සඳහා වීර්ය වැඩිය යුතුයි. බුදුවරු නිවන් මග කියා දෙති. කිසිවෙකු අත අල්ලා නිවනට නොපමුණුවති. තමා විසින්ම උත්සාහයෙන් නිවන් මගට යා යුතු ය. අරි අටඟි මග පිළිපදින්න මා විසින් කෙලෙස් නමැති උල් උදුරන මේ මග දැන කියන ලදී. මෙයින්ද පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ මග කියා දෙන්නෙකු මිස දුකෙන් මුදවන්නෙකු නොවන බවයි. දුකින් මිදීම තමා විසින්ම කළයුතුය. තම තමන්ගේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව තමා විසින්ම කර ගත්තකි. අනෙකෙක් අනෙකෙකු පිරිසුදු නොකෙරේ. මෙයින්ද හෙළිවන්නේ පුද්ගලයාගේ වගකීම ඔහුටම පවරා ඇති බවයි. තමා විසින් කරනු ලබන පින තමාගේ සැපයට හේතුවේ. තමා විසින් කරනු ලබන පව දුකට හේතුවේ. දුක සැප උරුම කරගන්නේ වෙන අයෙකු නොව තමා විසින්මය. බුදු දහමේ පමණක් උගන්වන මෙම ඉගැන්වීම තුළින් තමා ගැන ආත්ම විශ්වාසයක් පුද්ගලයා තුළ ජනිත කරවයි. විමුක්තිය ලබා ගැනීමේදීද, තම තමාගේ උත්සාහය ධෛර්යය අනුව එය සිදු කරගත හැකිවේ.