Saturday, October 18, 2014

රුවන්මැලි සෑය

බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි


ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්‍රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. 


අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි
ලංකාවේ තිබෙන ස්ථූප අතුරින් උසින් තෙවැනි ස්ථානයට පත්වුණත් වැඩි වශයෙන් වන්දනාවට ලක්වෙන ස්ථූපය වුනේ ඇයි කියන එකත් ටිකක් විමසලා බලමු. ඒකට හේතුව තමා ලෝකය පුරා තිබෙන බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් නිධන්ව පවතින්නේ රුවන්මැලි සෑය තුළ වීම. 

ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා බෙදීම
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කොටස් 8 කට වෙන් කෙරුණු සර්වඥ ධාතුවලින් රාම ග්‍රාමයට ලැබුණු සර්වඥ ධාතු ද්‍රෝණය පසුව තැන්පත් කෙරුණු ස්ථූපය මුහුදට සෝදාගෙන ගිහින් ඒ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබුණු බවත් රුවන්මැලි සෑයේ ධාතු නිධානෝත්සවයට මේ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් වැඩමවූ බව තමා වංස කතා කියන්නේ.

මේ විශේෂත්වය නිසාම මහා ථූපය, අසදෘශ ථූපය නමින් රුවන්මැලි සෑය ගෞරව පිණිස නම් භාවිතා කෙරෙනවා. ඒ වගේමයි පෙර රජ දරුවන්ගේ පටන් මේ දක්වාම විවිධාකාරයේ පුද පූජාවන්ටත් රුවන්මැලි සෑය පාත්‍රවෙලා තිබෙනවා. 

රුවන්මැලි මහා සෑයේ හරස්කඩ සටහනක්
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka  කෘතියෙන්]
ඉතින් රුවන්මැලි සෑය ගොඩනගන්න ආරම්භ කරපු ආකාරය, ධාතු නිධන් කළ ආකාරය වගේම ස්ථූපයේ කටයුතු නිමා කළ ආකාරය ගැන වංස කතා තුළ කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධව විස්තර ඇතුළත් කෘතියක් පහත තිබෙන සබැඳියකින් භාගත කරගන්න ඔබට පුලුවන්]

ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව. 

රජරට රාජධානි බිඳවැටිලා නිරිත දිගට වෙන්න රාජධානි ගොඩනැගීමත් එක්ක ක්‍රමයෙන් රුවන්මැලි සෑය වගේම අනෙකුත් සිද්ධස්ථානවලට එතරම් රාජ අනුග්‍රහයක් වුණු බව පෙනෙන්න නැහැ. ඒත් නොවුණාම නෙමේ. ඒත් රජරට රාජධානි තිබුණු සමයේ තිබ්බ ශ්‍රී විභූතියට පත්කරන එක නම් බොහොම අසීරු වුණා. අවසානයට සිද්ධ වුණේ මේ ප්‍රදේශ ක්‍රමයෙන් වල් බිහිවෙලා මහජනයාගේ මතකයෙන් ඈත්වෙලා යන එක. 


වල් බිහිව පැවති රුවන්මැලි මහා සෑය
මේ වගේ පසුබිමක තමා 1873 දී ගම්පොළ ප්‍රදේශයේ ඉදන් අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන අවුරුදු 23 ක් පමණ වුණු තරුණ හාමුදුරුවෝ වල් බිහිවෙලා තිබුණු මේ මහා ථූපය දැකලා බොහොම කම්පාවෙලා නැවත වරක් පෙර රජ දරුවන්ගේ කාලයේ රුවන්මැලි සෑය තිබුණු ශ්‍රී විභූතියටම පත්කරන්න අධිෂ්ඨාන කරගන්නේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ සහයත් මේ කටයුත්තේදී උන්වහන්සේට හිමිවෙනවා.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි

ඒ අනුව 1884 දී රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී අනුරාධපුර දිසාපතිතුමාගේ දැනුවත් කිරීමෙන් මේ ගැන බලන්න ආපු ඒ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි තමන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් 1000 ක් රුවන්මැලි සෑය සංවර්ධනයට පරිත්‍යාග කරලා තිබුණේ. [ගිරිගෝරිස් රජ්ජුරුවෝ කියලා මිනිස්සු හඳුන්වපු මේ ආණ්ඩුකාරතුමා ලංකාවේ පැරණි උරුමය සුරකින්න හුඟක් කැපවුණු කෙනෙක්. 1876 දී කොළඹ ජාතික කෞතුකාගාරය ආරම්භ කරන්න මුල් වෙන්නේත් මෙතුමාම තමා] ඒ වගේමයි එවකට හිටිය බෞද්ධ දානපතියන් රාශියකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

 සෑ රදුන් වන්දනාවට පිවිසීමට තිබූ දොරටුව

මේ විදිහට කටයුතු සිදුවෙද්දී 1912 දී හදපු බැමිවල තිබුණු දෝෂයක් නිසා චෛත්‍යය කඩාවැටීමත් එක්ක සුමනසාර හාමුදුරුවෝ රුවන්මැලි මහ සෑ පිළිසකර කිරීමේ කටයුත්ත තාවකාලිකව නවත්තනවා. 

 කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි

ඒත් ඒ අවුරුද්දේම තමන් වහන්සේගේ සහයට ආපු ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි සම්බන්ධ වීමත් එක්ක එතුමාගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.

රුවන්මැලි සෑය සොයාගන්නා විට වූ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අයුරු පෙන්වන සැලසුමක්
[උපුටා ගැනීම James G. Smither ගේ Architectural Remains: Anuradhapura, Ceylon කෘතියෙන්]
රන්සිරිනෙල් වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඉරිදා දිවයිනේ ලිපි මාලාවක් පළවුනා. මෙන්න ඒවත් කියවන්නකෝ.

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03 
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04

දොන් හෙන්ද්‍රික් සිටුගේ

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අකුරැස්ස ප්‍රදේශයේ ධනවතෙක් වුණු දොන් හෙන්ද්‍රික් සිටුගේ රුවන්මැලි සෑයේ ඉදිකිරීම් කටයුතුවලට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීමත් සුවිශේෂී සිදුවීමක්.මේ ඒ ගැන ලංකාදීපේ තිබුණු කතාව. 

රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙන්න පෙර නාරංවිට සුමනසාර හාමුදුරුවෝ අපවත් වෙනවා. මීළඟට 1932 අවුරුද්දේදී මේ යෝධ ව්‍යාපෘතියට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු ඒ වගේම ඊට පස්සේත් සම්බන්ධ වෙලා හිටිය දොන් හෙන්ද්‍රික් සිටුගේත් මියයනවා. 

ගර්භ කොටසේ පිළිසකර කිරීමේ කටයුතු
ඊට පස්සේ මහා ථූපයේ හතරැස් කොටුවට මුල්ගල තැබීමෙන් පස්සේ රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ සභාපති විදිහට අමිල මෙහෙයක් කරපු කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිත් 1935 දී පමණ මියයනවා.

ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. 

රුවන්මැලි මහ සෑයේ ලෝහමය කොත

ඒ වෙද්දී රුවන්මැලි සෑයට පළඳවන්න කොතක් නිර්මාණය කිරීමේ බරපතළ කාර්යයටත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් අත ගහලා තිබුණේ. ඒ කාර්යය පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ යෙදෙන පිරිසකට රන්සිරිනෙල් වෙද රාළහාමි භාර කරලා තිබුණේ. ඒ යටතේ අඩි 26 ක් උස ඒ වගේම ටොන් 6 ක් පමණ බර ලෝහමය කොතක් නිර්මාණය කරවන්න ඔවුන් සමත් වුණා.

පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.

මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.

බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමියන්
කොත් වහන්සේ ඒ විදිහට නිර්මාණය කරගෙන යද්දී ගැටලුව වුණේ මේ කොතට ගැලෙපන චූඩා මාණික්‍යයක් හම්බ නොවුණු එක. පත්තරවල දැන්වීම් පළ කරලා අවුරුදු කීපයක්ම කොතට ගැළපෙන චූඩා මාණික්‍යයක් කපා ගන්න පළිඟුවක් හෙව්වත් හම්බුණේ නැති නිසා මේ සඳහාපොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සහ දෙමටගොඩ මකුටාරාමයේ නිර්මාතෲ වගේම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක බුරුමයේ විනයාලංකාර නාහිමියන් හමුවෙලා මේ සම්බන්ධව උදව්වක් ඉල්ලන්න චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් කටයුතු කරනවා. 

මේ කාර්යයේ වටිනාකම තේරුම් ගත්තු විනයාලංකාර හාමුදුරුවෝ 1933 දී බුරුමයට වැඩම කරලා විශාල ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. රැන්ගුන් නුවරින් මැණික් සම්බන්ධ ප්‍රකට මෝගොක් නගරයට වඩින උන්වහන්සේට අවසානයේදී තමන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයේ පළිඟුවක් හම්බවෙනවා. යූ.ටො, දෝනන්ටේ, ෂන්ඨිදස් සහ  යූ.මට් කියන හතර දෙනාට අයිති වුණු මේ පළිඟුවේ වටිනාකම රුපියල් 6000 ක් පමණ වුණා. 


එයාල හතර දෙනා විනයාලංකාර හාමුදුරුවන්ට මේ පළිඟුව පරිත්‍යාග කිරීමත් එක්ක 1938 හාමුදුරුවෝ පළිඟුවත් අරගෙන ලංකාවට වඩිනවා. චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් ලංකාවේ පළිඟුවලට වඩා වැඩි දීප්තියක් තියෙන මේ පළිඟුව දැකලා හුඟක සතුටු වෙනවා. ඒත් ඊට පස්සේ ඇතිවෙන ගැටළුව තමා මේ තරම් විශාල පළිඟුවක් කපන්න තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබුණු එක. 

ඒ නිසා මේ පළිඟුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චූඩා මාණික්‍යය කැපීමේ ආධාරය චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විනයාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමත් එක්ක උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරලා මෝගොක් නගරයේ පළිඟු කපන ශිල්පීන්ට ඒ කාර්යය භාර කරනවා. 

පළිඟුව කපාගෙන යද්දී එක් පැත්තකින් අවශ්‍ය ප්‍රමාණය නොතිබුණු නිසා චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය ඇණ හිටිනවා. උත්සහවන්ත භික්ෂුවක් වුණු විනයාලංකාර හාමුදුරුවෝ පසුබට වෙන්නේ නැතුව ආයි පාරක් චූඩා මාණික්‍යයට අවශ්‍ය වෙන ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. 

කලින් පළිඟුව පරිත්‍යාග කරපු හතර දෙනාටම මේ පාරත් පළමු පළිඟුවටත් වඩා විශාල ප්‍රමාණයේ පළිඟුවක් ලැබිලා තිබුණා. ඒ තරම් විශාල පළිඟුවක් මීට පෙර මෝගොක් ආකරවලින් නොලැබුණු බව තමා කියවෙන්නේ. වටිනාම රුපියල් 8000 ක් පමණ වුණු ඒ පළිඟුව ඔවුන් විනයාලංකාර හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා. 

ඊට පස්සේ විනයාලංකාර හාමුදුරුවෝ පළිඟු කපන ශිල්පීන් ලවා උස අඟල් 18 ක් වට ප්‍රමාණය අඟල් 25½ වන විදිහට චූඩා මාණික්‍යයක් කප්පවනවා. මේ චූඩා මාණික්‍යයේ බර රාත්තල් 12½ ක් වුණා.

පළිඟුව කපලා අවසන් වුණාට පස්සේ ඒක නිකම්ම ලංකාවට භාර දෙන්නේ නැතුව රත්තරන් ආධාරකයක චූඩා මාණික්‍ය පිහිටවලා ඒක උඩ ධාතු කරඬුවක් කරවන්න විනයාලංකාර හාමුදුරුවෝ තීරණය කරනවා. ඒ යටතේ බුරුම බෞද්ධයන් බොහෝ දෙනා රත්තරන්, රිදී, මැණික් වගේම මුදල් මේ කටයුත්තට පරිත්‍යාග කළා. 

විනයාලංකාර හිමියන්ගෙන් මේ කටයුත්ත බාර ගත්තු මෝගොක් නුවර හිටිය ධනවත් බෞද්ධයෙක් මේ කාර්යයට අවශ්‍ය වෙන උපකරණ අලුතින්ම මිළයට අරගෙන රන්කරුවන් වගේම මැණික් කපන්නන් තමන්ගේ නිවසේ නවතාගෙන කටයුතු ආරම්භ කරනවා. 

ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ සැලැස්ම
මේ ආධාරකය රිදියෙන් වාත්තු කරලා රන් ආලේප කරලා ඒ ආධාරකය පුරාම මැණික් අල්ලලා ඒ මත චූඩා මාණික්‍යය පිහිටවලා චූඩා මාණික්‍යය මුදුනේ රත්තරනින් ධාතු කරඬුවක් නිර්මාණය කරලා ඒකත් රත්තරනින් ආවරණය කරලා ඒ මත ඉදන් සතර දිශාවට මැණික් වැල් හතරක් එන විදිහට තමා නිර්මාණය කරන්නේ. මාස 9 ක් කාලයක් මේ සඳහා ගතවෙනවා. 

මේ ස්වර්ණමය ආධාරකයේ උස අඟල් 13 ක් වෙනවා. මේ කටයුත්තට රත්තරන් රාත්තල් 12½ ක් රිදී රාත්තල් 152 ක් යොදා ගෙන තියෙනවා. ස්වර්ණමය ආධාරකයට මැණික් ගල් 4796 ක් සවි කරලා තියෙනවා. ඒ සෑම මැණික් ගලක්ම රුපියල් 25 කට වඩා වටිනාකමින් යුක්ත වුණා වගේම රුපියල් 12,000 ක වටිනාකමක් තියෙන මැණිකකුත් මේ අතර තිබෙනවා.

චූඩා මාණික්‍යය මුදුනේ තැන්පත් කරන්න විනයාලංකාර හාමුදුරුවෝ සර්වඥ ධාතූන් වහන්සේලා එකුන් දස නමක් [9] සූදානම් කරගෙන තබාගන්නවා. ධාතු කරඬුව සවිකරන්න බලාපොරොත්තු වුණු දවසේ ඒක කරන්න බැරිවුණු නිසා පසුවදා ඇවිත් ඒ සඳහා ධාතු තැන්පත් කරලා තිබුණු භාජනය විවෘත කළාම සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක් දැකගන්න පුලුවන් වෙනවා.  මේ සියල්ලමත් චූඩා මාණික්‍යය මුදුනේ තිබෙන ධාතු කරඬුවේ විනයාලංකාර හාමුදුරුවෝ තැන්පත් කරනවා. 

ශ්වේදගොන් චෛත්‍යය

අවසානයේදී නිර්මාණ කටයුතු නිමා කරපු ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය මෝගොක් නුවර ඉදන් විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනුවරට වැඩම කරවලා රැන්ගුන් නුවර පිහිටි ශ්වේදගොන් චෛත්‍යය සමීපයේ තිබෙන ගොඩනැගිල්ලක තැන්පත් කරලා බුරුමයේ ජනතාවට ප්‍රදර්ශනය කරනවා.

පස්සේ බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා වුණු ශ්‍රීමත් Archibald Douglas Cochrane විසින් රාජකීය භාණ්ඩයක් විදිහට මේ චූඩා මාණික්‍යය 1940 දී ලංකාණ්ඩුකාර ශ්‍රීමත් Andrew Caldecott ට විනයාලංකාර නාහිමියන් සහ බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා තුන් නමකුත් රුවන්මැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න බුරුම ශිල්පීන් පිරිසකුත් සමඟ පිටත් කර හරිනවා.

1940 මාර්තු 4 වෙනිදා මේ පිරිස ලංකාවට සැපත් වෙනවා. ඒ සමඟම රතු මැණික් කැට එබ්බවූ රිදී මල් බඳුනක්, ආධාරකයක් සහ වැස්මක් සහිත රිදී පාත්‍රයක්, චූඩා මාණික්‍යය වැසීමට වීදුරු ආවරණයක්, දළදාව ආවරණයට වීදුරු ආවරණයක් පරිත්‍යාග වශයෙන් බුරුමයෙන් ලංකාවට හිමිවෙනවා.

දෙමටගොඩ මකුටාරාමයේදී ප්‍රදර්ශනයට චූඩා මාණික්‍යය තබලා පසුව අනුරාධපුරය බලා වැඩම කරවනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජූනි 17 වෙනිදා පැවැත්වෙන රුවන්මැලි මහා සෑයේ කොත් වහන්සේ පැළැඳවීමේ පිංකමේදී බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ රුවන්මැලි මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්.

මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා. 

2011 වසරේදී ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය පිළිසකර කිරීමෙන් පසු
වසර 70 කට විතර පස්සේ මේ ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ පිළිසකර කිරීම්පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැල්පොල රාහුල හාමුදුරුවෝ විසින් සිදු කරලා 2012 මාර්තු 11 වෙනිදා ඒ කටයුතු නිමා කරනවා. 
http://www.youtube.com/watch?v=Cf8z9mD9G7A
පිළිසකර කිරීම් සිදුකළ ආකාරය

ඒ දවසේ නොමිලේ බෙදා හැරුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ  රචනා කරපු චූඩාමාණික්‍ය වර්ණනාව කියන සටහනෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.  

ඒ සමඟම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ රචනා කරපු "රුවන්මැලි මහා සෑය" ග්‍රන්ථයත් බෙදා හැරියා. ඒ කෘතිය මේ සබැඳියෙන් ගිහින් භාගත කරගන්න පුලුවන්. [මෙය ලබාදුන් ටිරාජ් අධිකාරි අයියාට පිං]

රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්නමෙතනින් යන්න.

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)

No comments:

Post a Comment