Sunday, June 7, 2015

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය

බෞද්ධයා - The Buddhist's photo.

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.
“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.”
“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.”
“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”
“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.
[[අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.]]

ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ . .

බෞද්ධයා - The Buddhist's photo.
බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.
බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.
විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.
බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.
බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.
එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,
1. සහස්සි චූලනිකා ලෝක ධාතු
2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු
3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.
දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.
ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.
බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.
අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?
මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.
බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.
ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.

ඖෂධ/බෙහෙත් පිදීමේ ආනිශංස දහය


ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් ම සකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාත‍්‍රයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. ඒ වගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධ සකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.
භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.
1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

අපායේ උපතක්‌

අපායේ උපතක්‌
ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.
විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.
නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.
සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.
ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ

Thursday, June 4, 2015

බටහිර ලොවට සතිපට්ඨානය ඕනෑ වෙයි



“දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථකාම නිපාතිනො
චිත්තස්ස දමථො සාධු
චිත්තං දන්තං සුඛාවහං”

“සිත අල්ලා තබාගැනීම අපහසුය. සිත ඉතා ශීඝ්‍රවේග සහිතයි. සිත, කැමති, කැමති අරමුණකට යන්නේය. සිත දමනයකොට ගැනීම යහපත්ය. සිත සන්සුන්කොට ගත් තැනැත්තා සුවය ලබන්නේය. ධම්මපදයේ චිත්ත වග්ගය.
සියවස් විසිදෙකකටත් අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ, ශ්‍රී ලංකාව, බුදු දහම ඉතා ගැඹුරින් දැන සිටියේ ය. අපගේ උදාරතර මාතෘභූමිය වන, මේ පරිශුද්ධ ලක් දෙරණෙහි වාසය කළ සැදැහැවත්තු, මෙයට අවුරුදු දෙදහස් එකසිය පනහකට පමණ පෙර, බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කොට තැබූහ.
මාතලේ ආලෝක විහාරයේ දී, එතෙක් කට පාඩමින් පැවත ආ ත්‍රිපිටක ධර්මය ලේඛන ගත කෙරිනි. එසේ ලියා තබන ලද පුස්කොළ පොත් ප්‍රමාණය අලි නවදෙනෙකු තරම් උස් වූයේ යැයි, වාර්තා ගත වෙයි. මෙසේ අපි, සියවස් ගණනක් මුළුල්ලේ බුද්ධ ධර්මය රැකගෙන එන්නෙමු. අපේ ගිහි පැවිදි බොහෝ දෙනා ඒ සනාතන දහමේ බෙලෙන්, උසස් මාර්ග ඵලවලට ද එළඹෙති.
එහෙත්, අද බටහිර ලෝකයේ පෘථුල ජන ප්‍රවාහයක් විසින්, අමා මෑණියන්ගේ දහමෙහි හරය, තමන්ගේ එදිනෙදා දිවිපෙවෙත සරුසාර කොටගෙන ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබාගනිමින් බුදුදහමේ ආරක්ෂකයන් වූ අපට පවා මා හැඟි ආදර්ශ හා මාර්ගෝපදේශ සපයන්නට පටන්ගෙන සිටිති. මේ මහා සද්ධර්ම පුනර්ජීවනය, අද බහුල වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ, ලෞකික හා භෞතික චර්යාවලින් ඉතා උස් කූටයකට නැඟ සිටින රාජ්‍යයක් වශයෙන්, ලොව සුපතළව සිටින ඇමෙරිකා එක්සත් ජනපද මහා රාජ්‍යයේයි. මේ දේශයේ ජනතාව, මනස සන්සුන් කොට ගැනීම සඳහා සති පට්ඨානය පුරුදු කරති. ඒ හා ආශ්‍ර භාවනා ක්‍රම ආදියේත් යෙදෙති. තාක්ෂණික වශයෙන් සහ සුඛෝපභෝගී ජීවන ක්‍රම පරිහරණය කිරීම් වශයෙනුත් අද ලොව අග්‍රගණ්‍ය දේශවලින් මුල් පෙළේ සිටින රාජ්‍යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි අද ව්‍යාප්තව තිබෙන ආධ්‍යාත්මික විප්ලවය, බොහෝ දෙනාට විස්මය දනවන සුළු සිද්ධි දාමයකි. ඒ මහා රාජ්‍යය, ප්‍රාන්ත පනහකින් තැනී තිබේ. අද ජනපද සියල්ලේම සතිපට්ඨාන ඇබ්බැහිය පවතී. එපමණක් නොවේ අලුත්ම වාර්තාවලට අනුව, බටහිර රාජ්‍ය තිහක පමණක් දැනට මේ සතිපට්ඨාන ශික්ෂණය ක්‍රමය පවත්නේ ය. මේ ප්‍රබල ආත්ම ශික්ෂණ විප්ලවයේ තතු සොයන්නට පෙර, මේසා විශාල ජන සංඛ්‍යාවක් සතිපට්ඨානය සොයා යෑමට තුඩුදුන් බලවේග කවරේද කියාත් අප විසින් සළකා බැලිය යුතු වෙයි.
මෙයට ප්‍රධාන හේතුව නම් ඒ ඉසුරුමත් රාජ්‍ය බොහොමයක වෙසෙන, ජනතාවගේ අභ්‍යන්තර තත්ත්වයයි. ඔවුන්ට යාන, වාහන, මිල, මුදල් උච්චතම කායික සුඛ විහරණ, ආදිය නො අඩුව තිබෙන්නේ විය හැකිය. එහෙත් ඔවුනතුරින් බොහෝ දෙනෙකුගේ මනස දැඩි ආතතියක ග්‍රහණයට අසුවී ඇත්තේ ය.
ඔවුන්ගේ සිත් සතන්වල සැනසීමක්, මතිමාත්‍ර වශයෙන් හෝ දැකිය හැකි නොවේ. ඔවුන් අධි වෙහෙසින්, හැඩ ගස්වා ගනු ලබන බාහිරාටෝපයෙන් දිදුලන, සරුව පිත්තල ලෝකයෙහි, අරුතක් ඔවුන්ට දැනෙන්නේ නොවේ. ඒ අයගේ ජීවිත භාජනවල හිස්බව, ඔවුන්ගේ ආතතිය තවතවත් තීව්‍ර කරන්නේ ය.
මෙවැනි ජීවන පීඩනයකින් මිදෙන්නට මං පෙත් සොයන මහා ජනකාය උදෙසා, අපරදිග උගතුන් කිහිපදෙනෙක්, සතිපට්ඨාන ශික්ෂණයක් නිර්මාණය කොට ගත්හ.
ඒ උගතුන් විසින් නිර්මිත, නවීන සතිපට්ඨාන ක්‍රමය නම් කෙරෙන්නේ, සිහිය පිහිටුවා ගැනීම පදනම්කොට, ගත් ආතති ප්‍රහීණ කිරීමේ චිකිත්සාව“වශයෙනි. එය ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ. “මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ස්ට්‍රෙස් රිඩක්ෂන්” යන යෙදුමෙනි. මේ නවීන සතිපට්ඨාන ආචාර්යවරුන්ගේ ආත්මාභ්‍යාස විධි, ඇතැම්විට, තරමක් සිනාවට සුදුසු යැයි යමෙකුට පෙනෙනු ඇත. කායික මානසික නිරෝගීතාවයක් හා ආධ්‍යාත්මික සුවයක් ගෙන එන රහස් මන්ත්‍රය එය බොහෝ දෙනා අවබෝධ කොටගෙන සිටිති. තමන්ට, ඒ මඟින් ලද හැකි වූ සහනය, කිසිසේත් මායාවක් නොව, ඉතාම පැහැදිලි ආධ්‍යාත්මික සන්සුන්බවක් හැටියට, මේ පාඨමාලාවට සහභාගී වූ බොහෝ දෙන පෞද්ගලිකවම අවබෝධකොටගෙන සිටිති.
බටහිර ලෝකයට මේ නවීන සතිපට්ඨාන ක්‍රමය ගෙන ආ අලුත්ම “සෘෂිවරයා” නම් මැසචුසෙස්ට් තාක්ෂණික ආයතනයේ විද්වතෙකු වූ “යොන් කබාට් සින්” බුදුහිමියන් මෙයට, අවුරුදු 2600 කට පෙර වදාරන ලද දහමක හරය, ඔහු සිය ශ්‍රාවකයන්ට පාඨමාලාවක් වශයෙන් පුහුණු කරන්නේය.
ආතතියෙන් පෙළෙන බොහෝ නවීනයන්ට මූණ පාන්නට සිදුවන අධි පීඩක අර්බුදය නම්, මේ මොහොතේ ඉටුකළ යුතු දෙය කෙරෙහි පූර්ණ චිත්තාවධානය යොමුකළ හැකි නොවීමයි. මේ නූතන සතිපට්ඨාන පාඨමාලාවේ මූලික අභිප්‍රාය වන්නේ, ශ්‍රාවකයාට සිය මනස සන්සුන් කොට ගන්නට න්‍යායයක් සම්පාදනය කොට දීමයි. අතීතයේ සිදුවූ දේ පිළිබඳව හෝ මත්තේ සිදුවිය හැකි දේ ගැන හෝ එතරම් සිත යොමුකොටගෙන මේ එළඹි මොහොත නාස්ති නොකොට දමන්නේ නැතිව මෙම මොහොත ගැන පූර්ණ චිත්ත අවධානය සහමුලින්ම යොමු කිරීමට ශ්‍රාවකයා පුහුණු කරනු ලැබේ. මෙය බුදුහිමියන් විසින් සතිපට්ඨානය ගැන එදා වදාළ සනාතන දහමේ, වර්තමාන ස්වරූපයක් වැනියි.
බුදු හිමියෝ එදා මෙසේ දෙසූහ.
“අතීතං නානු කපපන්නි,
නප්ප ජප්පමනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
පස වණෙණා පසීදති”

බුදුහිමියන් ධර්මය වදාළේ, බුද්ධ ශ්‍රාවකයන්ගේ මනසෙහි පහන් බව පිළිබඳ රහස විමසූ කෙනෙකුට පිළිතුරු වශයෙනි. බුදුහිමියන්ගේ පිළිතුරේ අරුත මෙසේය. “ඔවුහු (බුද්ධ ශ්‍රාවකයෝ) අතීතය ගැන තැවෙන්නෝ නොවෙති. ඔවුහු අනාගතය ගැන පුන පුනා ජප කරමින් සිටින්මෝත් නොවන්නාහ. ඔවුහු වර්තමානයෙහි මේ එළඹි මොහොතෙහි වෙසෙති. ඒ නිසා ඔවුන්ගේ මනස, ඡවි වර්ණය පැහැදිලිය. මේ සතිපට්ඨාන ක්‍රමය, බටහිර ලෝකයේ උසස් බුද්ධිමතුන්, ඉසුරුමත් ධනවතුන්, අති සාර්ථක ව්‍යාපාරිකයන් ආදීන් අතර, අද මුල්බැසගෙන තිබෙන්නේ, මෙය මෙතෙක් බටහිර ලෝකයා දුටු සාමාන්‍ය භාවනාක්‍රමයෙන් ඔබ්බට යන හෙයිනි. මේ මොහොතේ එළඹි ඉතා සුළු දෙයක් ගැන හෝ පූර්ණ අවධානය යොමු කරන්නට පුහුණුවීම, නවීන ලෝකයේ, පවත්නා අසීමිත ආරමිමණ වලින් ඒ මේ අත ඇදි ඇදී ගොස්, තමන්ගේ ජීවිතය නිෂ්ඵල කොට ගැනීමෙන් වැළකීමට ආධ්‍යාත්මය පුරුදු කරන මා හැඟි චිකිත්සා ක්‍රමයි. එළඹි සිහියෙන් සක්මන් කිරීම, සිහිය පිහිටුවාගෙන යම් යම් ක්‍රියාවන්හි යෙදීම ආදී අභ්‍යාස, මේ ආධ්‍යාත්මික ශික්ෂණයට අයත්ය. ඒ සියල්ලම, බුදුහිමියන්ගේ සතිපට්ඨාන ක්‍රමයෙහි ආගත ක්‍රම හා විධිය.
මේ නවීන සතිපට්ඨාන ක්‍රමය උගන්වන විද්වත්තු මෙය බුදුහිමියන්ගේ ධර්මයෙහි ඇතුළත් බව දනිති. එහෙත්, ඒ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ, නිගරුවකින් නොව, එවැනි දෙයකින් වුවද, මනසෙහි අවධානය බිඳි යා හැකි හෙයිනි.
බුදු හිමියන් විසින් සතිපට්ඨාන ක්‍රියාදාමයේ දී අනුදක්නාලද මූලික අභ්‍යාස ක්‍රමයක්වන ආනාපාන සති භාවනාවද, මේ නවීන “සෘෂිවරුන්” විසින් ඉතා පෘථුල වශයෙන් අනුමත කෙරේ. මේ නවීන සතිපට්ඨාන ක්‍රමය, ඉතා ප්‍රබල ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ය. ඒ පිළිබඳව ලියැවුණු පොත් පත් සමූහය අතිශයින්ම බහුලය.
අද ලොව මහා ව්‍යාපාරය විසින්ද මේ නවීන සතිපට්ඨාන ක්‍රමය සඳහා පෘථුල සහයෝගයක් සැපයෙන්නේ ය. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උභය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු පවා මේ ශික්ෂණය කෙරේ අද ප්‍රබල උනන්දුවක් දක්වති. ටිම්රයන් නමැති ඒ උභය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයා, මේ සතිපට්ඨාන ක්‍රමය කොපමණ අගේ කළේ ද කිවහොත්, ඔහු, මේ සතිපට්ඨාන ක්‍රමය රටේ විද්‍යායතනයන්ටද ලබාදිය යුතුයැයි යෝජනා කළේ ය. මේ මන්ත්‍රිවරයා, මෙම සතිපට්ඨාන ක්‍රමයට කොපමණ ඇබ්බැහි වූයේද කිවහොත්, ඔහු වරක් පැය තිස්හයක් මුළුල්ලේ නිහඬතාවය රැකගෙන, වචනයකුදු නොතපලා සිටියේ ය. ඔහුගෙ ආධ්‍යාත්මික ශික්ෂණය පිළිබඳ ග්‍රන්ථයක්ද කළේ ය. “එළඹ සිටි සිහියෙන් යුත් ජාතියක්” (මයින්ඩ්ෆුල් නේෂන් ) නමැති ඒ ග්‍රන්ථය, ඔහුගේ ගැඹුරු කැපවීම පිළිබඳව විශිෂ්ට නිදර්ශනයකි. සන්නද්ධ හමුදාවනටත් මේ සතිපට්ඨාන ක්‍රමය පුහුණු කරන්නට පුරෝගාමීහු පියවර ගෙන සිටිති. ශ්‍රී ලංකාව වැනි පෞරාණික සතිපට්ඨාන රාජ්‍යයක, අද යුගයේ දී, මේ ප්‍රායෝගික සන්සුන් සිත පිහිටුවාලනු පිණිස, විද්‍යාලයන්ටත් මේ සතිපට්ඨාන ක්‍රමය යොමුකළ යුතු වන්නේ ය. මේ රටේ බොහෝ දෙනා, අපට අයත් මහා ධන නිධානවල ශ්‍රේෂ්ඨත්වය අවබෝධකොට ගන්නේ විදේශිකයන් ඒවායේ අගය, ඇති සැටියෙන් දැක, ඉන් උච්චතම සෙත ලබාගන්නට පටන් ගත් විටයි.
 

  බක්මස අමාවක පෝය
බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 

පොහෝ දින දර්ශනය
Full Moonඅමාවක
අපේ‍්‍රල් 18
First Quarterපුර අටවක
මාර්තු 27
Full Moonපසෙලාස්වක
මැයි 03
Second Quarterඅව අටවක
මැයි 11

සසුන් කෙත එකලු කළ මිණි පහන

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ පුවත ඉකුත් 08 වැනිදා හිමිදිරියේ අසන්නට ලැබිණි. ඇසු ඇසූවන් ශෝකයට පත් කළ ඒ පුවත මෙරට බෞද්ධ ජනතාවගේ නෙතගට කඳුළක් එක්කිරීමට තරම් හේතු වූ බව රහසක් නොවේ.
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී වදාළ අතිපූජ්‍ය මහානාහිමියන්ගේ ශ්‍රී දේහය අට වන දා පස්වරුවේ මෙරටට වැඩම කරවූහ. කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කොළඹට වැඩම කරවූ ශ්‍රී දේහය පසුදා ( 09 ) උදෑසන රිය පෙරහරෙන් මහනුවර අස්ගිරි මහා විහාරය වෙත වැඩම කරවූහ.
මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් 12 වන දා පස්වරුවේ අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. අස්ගිරි මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකළ 12 වන දා රජයේ ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කැරිණි. අතිපූජ්‍ය මහා නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක පණිවුඩ රැසක් මාධ්‍යය වෙත නිකුත් කර තිබිණි. ලෝ දහම සනාථ කරමින් දැයෙන් සමුගත් මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිර් මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේට නිවන්සුව පතමු.!

අපවත්වී වදාළ අස්ගිරි මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්...

අපවත්වී වදාළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (09) ඉකුත් දා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ අස්ගිරි මහා විහාරය වෙත 09 වන දා පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. (ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය, නිශාංක ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අපවත්වී වදාළ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීය.
ආදාහන උත්සවයට සහභාගි වූ සඟ රුවනින් කොටසක්
වැඩම කළ සිල් මෑණිවරු
මහා නා හිමියන්ට ශිෂ්‍ය හිමිවරු පැන් වඩා පින් අනුමෝදන් කළ අයුරු
අන්‍ය ආගමික පූජකවරු
ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු මැති ඇමතිවරු
ආදාහනයට සහභාගී වූ මැති ඇමතිවරුන්ගෙන් පිරිසක්
දියවඩන නිළමේතුමා ඇතුළු නිළමේවරු
ආගමික කටයුතු සඳහා දේහය තැන්පත් කර තිබූ අයුරු
චිතකය ගිනි දැල් වු අයුරු
සේයාරූ
ගාමිණී රණසිංහ
සුනිල් ගුණවර්ධණ


Sunday, March 29, 2015

ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.
සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.
ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.
මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.
මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.
මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.
තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.
මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.
මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)
මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.
මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.
මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.
මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.
මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.
මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි.
මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය.
අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.
ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.
(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )
මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි