Showing posts with label ධර්ම දේශනා. Show all posts
Showing posts with label ධර්ම දේශනා. Show all posts

Tuesday, August 25, 2015

මරණයෙන් පසු

මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?
.
Niwan magata ama dham=නිවන් මගට අමා දම්'s photo.මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.

පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා. ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.
මේ හැර ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත් වී, මනස සිරුරෙන් වෙන් වී, ආපසු මනස සිරුරට එක් වූ තැනැත්තන් එම විරාමය නැත්නම් මරණය හා නැවත ප්‍රාණය ලැබීම අතර කාලයේ ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනෙකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයන් තිබෙනවා. මෙය සමහර විට සමහරුන්ට නිරායාසයෙන් ලැබෙන්නක් හෝ තවත් සමහරුන් පුහුණු කිරීමෙන් ළඟා විය හැකි තත්ත්වයක්.
ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද? කියා දැනගැනීමට ඉවහල් වන මෑතකාලීන සාක්ෂි තිබෙනවා. ඒවා අනතුරකට භාජනය වී, නැත් නම් ශල්‍යකර්මයක් අතරතුරදී තාවකාලිකව මරණයට පත් වී පසුව නැවත ප්‍රාණය ලැබූ අය තමන්ගේ මරණය පිළිබඳ දක්වන අත්දැකීම්. ශරීරය තවකාලිකව මරණයට පත් වූවත් මේ ඇත්තන්ගේ මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට හැකි වීමෙන් පසු නැවත මනස සිරුරට එක් වී ජීවත් වීමට වාසනාව ලැබූ අයයි. මේ තැනැත්තන් සිය තාවකාලික මරණය පිළිබඳ දක්වන අත්දැකීම් මෙහිදී වැදගත් වෙනවා. ජීවිතයේ පසු වුණ විවිධ අවස්ථාවල මෙසේ තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට අවස්ථාව ලැබූවන් පවසන කතාන්දරවලින් කියවෙන්නේ එකම දේවල්ය. මේ සියලු කරුණු එකතු කොට ඔබේ මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද යන දේශනය පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.
මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද වැනි කාරණා විමසා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි? මේ වගේ දේවල් මගින් කලින් කලට අපේ ජීවිතය පිළිබද ආකල්ප පුළුල් වෙනවා. ජීවිතය පිළිබඳව වඩාත්ම වැදගත් වන්නේ අපේ ආකල්පයි. මෙහිදී අප උගන්වන්නේ මෙවැනි කරුණුයි. ඒවා ව්‍යවහාරයට පැමිණි විට ඔබ මරණයට පත් වූ පසු ඔබට සිදු වන්නේ කුමක්දැයි දැනගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් හා අත්දැකීමක් ලබාගත් විට ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයකට සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්නට හැකි වෙනවා; ජීවිතය දිහා සුන්දර ලෙස ඒ වගේම සුබදායකව හෙවත් ධනාත්මකව බලන්නට ඔබට හැකි වෙනවා.
දැන් අපි ආපසු අපේ මාතෘකාවට පිවිසෙමු. අපි ඔබ මරණයට පත් වීමට ආසන්නව ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව මූලිකව විමසා බලමු. මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද කියා ඊට පසුව විමසා බලමු.
ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වන විට උදේ අවදි වුණේ රාත්‍රිය නිදාගන්නට ගිය පුද්ගලයාමයි. සමහර විට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගත වී තිබුණත් උදේ අවදි වන්නේ රාත්‍රි නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත් වූවාට පසුවත් සිදු වන්නේ මෙයම තමයි.
අප මරණයට පත් වීමට ආසන්නව සිදු වන්නේ කුමක්ද කියා විමසීමේදී මා මෙහිදී අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද සිදු වූ හදිසි මරණයක් ගැන නොව, අසනීපයකින් වියපත් වීමකින් නැත්නම් රෝගාතුර වීමක් වැනි දෙයකින් සිදු වන සෙමෙන් මරණයට පත් වීමක් ගැනයි. එය සිදු වන්නේ අපේ පංචේන්ද්‍රියේ, ඒ කියන්නේ ඇසින් දැකීම, කනින් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මණ්‍ය වීමෙන් නැත්නම් ශරීරයේ වෙන් වීමෙන්. බෞද්ධ භික්ෂුවක් විදිහට බොහෝ දෙනෙකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදු වන්නේ කෙසේදැයි දැක බලාගැනීමට මම භාග්‍යවන්ත වී සිටිනවා.
මෙය බෞද්ධ භික්ෂුවක විදිහට අත්විඳින්න ලැබෙන හරිම සිත්කාවදින අත්දැකීමක්. භික්ෂුවක් විදිහට මේ වගේ දුර්ලභ අත්දැකීම් ලබාගන්න ඉඩකඩ ලැබෙන නිසා මේ භික්ෂු ජීවිතය මම මහත් සේ අගය කරනවා. ඒ අතර එහි අගය ගැන සහතික කර කියන්න මට පුළුවන් වෙනවා. මරණයට ආසන්න වූවන්ගේ කටයුතුවලට භික්ෂුවක් විදිහට සහභාගි වීමට නිරතුරුවම මට අවස්ථාව ලැබෙන අතර, ඉන් ලැබෙන අත්දැකීම් හරිම අපූරුයි.
මරණය සිදු වන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුර වූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවකුගේ මරණය සිදු වන්නේ සෙමෙන්. මම මුලින්ම මේ විදිහට සිදු වන මරණ දැක්කම, මරණය සිදු වන්නේ මෙන්න මේ වේලාවටයි, අටටයි නැත්නම් නමයටයි කයා කියන්න බැරි, මිනිත්තු ගණනක් තිස්සේ සිදු වන ක්‍රියාවලියක් විත්තිය මට තේරුණා. මේ ක්‍රියාවලිය පටන් අරගෙන සෙමෙන් සෙමෙන් අවසානයට පත් වනවා. හිටිහැටියේ සිදු වන දෙයක් නොව, ක්‍රියාවලියක්යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. මරණය යනු ක්‍රියාවලියක් මිස සිදුවීමක් නොවෙයි.
මෙය තේරුම් ගත් විට මරණය සිදු වන ක්‍රියාවලියේ අවසානය සිදු වන්නේ ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, ස්පර්ශය, රස විඳීම යන පස් ඉඳුරන්ගේ අතුරුදන් වීම, අවසාන වීම සමග බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමක්, ගඳසුවඳ දැනීමක්, රස විඳීමක්, ස්පර්ශයක් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනෙකු මරණයට පත් වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණාය සිතමින් හඬාදොඩා වැලපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත් වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ නැතැත්තා මරණයට පත් වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදු වන්නේ මෙන්න මේ ක්‍රියාවලියමයි කියන-එක. භාවනාවේ ගැඹුරට යන විට ඔබේ සිරුරෙහි පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත් විට ඔබට මේ වගේ අත්දැකීමකට ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදන් වෙනවා. සෙමෙන් සෙමෙන් මරණයට පත් වීමේදී සිදු වන්නේ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිම කොට සිහි එළවාගන්න පුළුවන් වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම, නැත්තටම නැති වී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන් වීමෙන් ඔබට විශාල සැහැල්ලුවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.
මෙහි තිබෙන ප්‍රයෝජන මොනවාද? මුල්ම කාරණය නම් ඔබේ සිරුර ඔබෙන් වෙන් වී ගිය පසු, අතුරුදන් වී ගිය පසු ඔබට සිරුර නිසා මෙතෙක් විඳින ලද දුක්වේදනාවන්ගෙන් අත්මිදීමක් ලබන්න පුළුවන් වීමයි. එය හරිම යහපත් තත්ත්වයක්. ඔබ ගැන කියන්ට මා දන්නේ නැහැ. නමුත් මා නම් වියපත් වෙමින් සිටින බව මා දන්නවා. දැන් මට වයස අවුරුදු 60 යි. දැනටමත් මට ශරීරයේ රුදා වේදනා, අපහසුකම් දැනෙනවා. හැටේදී මෙහෙම නම් හැටපහේදි, හැත්තෑවේදි කොහොම වේවිද කියා මට සිතෙනවා.
කොහොමහරි තවතවත් වේදනා උත්සන්න වෙන විත්තිය නම් මා දන්නවා. මේ හින්දා මේ ශරීරයෙන් වෙන් වෙන්න ලැබෙනවා නම්, මේ ශරීරය අත්හරින්න ලැබෙනවා නම් කොයිතරම් කදිමද? ඔබේ ශරීරය ඔබෙන් අතුරුදන් වෙන්න පටන් ගත්තාම ඔබට හරිම පුදුමාකාර ආස්වාදයක් විඳදරාගන්න ලැබෙනවා. වේදනා නැහැ, රුදා නැහැ. මීට මිනිත්තු කිහිපයකට ඉස්සර මා භාවනා කරමින් සිටියදී මගේ උගුරේ තිබුණු වේදනාව එහෙම්පිටින්ම අතුරුදන් වී ගියා. පසුගිය සති කිහිපයේදී ඉන්දුනීසියාවේ සිට ආපසු ආවාට පසු මේ උගුරේ අමාරුවෙන් මා පීඩා වින්දා. ඒක මොකක් හරි ආසාත්මිකතාවක් නිසා හැදිච්ච අමාරුවක් වෙන්න ඇති.
ඒ වුණත් කරුණාකර ඔබට කියන්න දෙයක් තිබෙනවා. මා ගැන කරුණාවන්ත වී මට කිසිම බෙහෙතක් දෙන්න උත්සාහ කරන්න එපා. මට අසනීපයක් කියා දැනගත්තාම මගේ දායකයෝ ගෙනත් දෙන බෙහෙත්වලින් බෙහෙත් සාප්පුවක් පුරවන්න බෙහෙත් ජාති තියෙනවා. කරුණාකර මේ සැරේ එහෙම කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
මිනිත්තු කිහිපයකට ඉස්සර භාවනා කිරීමෙන් මා ලත් අත්දැකීම තමයි උගුරේ දැවිල්ල කෙමෙන් කෙමෙන් අතුරුදන් වීම. කොයිතරම් අරුමයක්ද? වදවේදනාව තුරන් වුණා. මරණයට පත් වීමේදී ශරීරය අප අත්හැර යෑමට, අපෙන් අතුරුදන් වන්නට පටන්ගත්තාම සිදු වෙන්නේත් මේකම තමයි. මේ හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න හැකි වෙනවා.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත් නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන, අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත ඔබ්බෙන් බබෙක් හඬන සද්දය, කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක් නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදු රජාණන් වහන්සේ පවා, උන් වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදන් වෙන්නේ නිමක් දකින්නේ ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත් වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදන් වන්නේ ශබ්දයයි.
භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත් මේ ඉන්ද්‍රීය අවදි කිරීමෙනුයි; ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩසටහනකට සහභාගි වූ කෙනෙක් භාවනා වැඩසටහන නිම කළ පසුත් ගැඹුරු භාවනාවේ ම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩි වී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්ලා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතා කර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදන් වන්නේ ශබ්දයයි.
මෙය තේරුම් ගත්තාම මරණයට පත් වීමේ ක්‍රියාවලියේදී කෙනෙකු මරණාසන්න මූර්ඡාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ළං වී ඇති බවත් දැනගත් විට මිය යමින් සිටින තැනැත්තාට කතා කරන්න. මක් නිසාද යත්: සියලු පස් ඉඳුරන්ගේ අවසානයට අතුරුදන් වන්නේ ඇසීම නිසා, මිය යන තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම, ස්පර්ශ කිරීමට, වඩා අවසාන වශයෙන් ශරීරයෙන් අතුරුදන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යන විට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදන් වන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරත වන ඔබ බොහෝ දෙනාට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත් වීමේදී සිදු වන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක්‍රම අනුව මේ සඳහා මෝෆීන් වැනි සිහි නැති කරන බෙහෙත් හොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුණාම ඇති වන දුක්වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව සිත් කරදර කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මෝෆීන් වැනි සිහි නැති කරන වේදනා සමනයන් භාවිත කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
ඒ මක් නිසාද කිව්වොත්: මරණය පිළිබඳ ක්‍රියාවලියේදී, ඔබේ සවන ඉන්ද්‍රිය වන මනස, සාමාන්‍යයෙන් ඔබේ මොළය පාවිච්චි කරනවා. මොළයේ ක්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදු වන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත් නම් සමහර විට අඩුවෙන් ඔබට පැහැදිලිකමක්, නැත් නම් නිර්මල බවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත් වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී මා ඇය සමග පැය දෙකක් පමණ කාලයක් ගත කළා; ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමග ගත කළ පැය දෙකක් පමණ කාලයේදී ඇය ර්ධදචඵබපර (වනඅරම, ආරණ්‍යය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ ‘පන්සල නැත් නම් ආරණ්‍යය’ කියූ වචනය කොහොමටවත් ගැළපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා හා ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්න වූවන්ට ඔවුන්ගේ අවසාන අවස්ථාවේදී යටපත් වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදි වෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා; නිරවුල් වෙනවා. හේතුව තමයි මනස, බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකි වෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක්‍රියාකාරී වෙනවා.
මා ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ, පතපොත කියවමින් සිටියදී, අවුරුදු සිය ගණනකට පෙර ජීවත් වූ තැනැත්තෙක් පිළිබඳ ටොල්ස්ටෝයි ලියූ හරි අමුතුම කතාවක් කියෙව්වා. මේ තැනැත්තා ජීවත් වුණේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවෙසකයි. මොහු බරපතළ ලෙස අසනීප වී වේදනාවෙන්, දවසේ පැය විසිහතරම, ළතෝනි දුන්නා; කෑමොරගැසුවා. ගෙදර අයට කරකියාගන්න දෙයක් නැතිව අවුලෙන් අවුලට පත් වුණා. ගෙදර කෙනෙක් මුළු දවස තිස්සේම වේදනාවෙන් කෑමොරගසමින් සිටියොත්, ඔබට කරකියාගන්න දෙයක් නැති වුණාම කොයිතරම් අසරණ වෙනවද කියන-එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ පවුල ගමේ පොහොසත් පවුලක්. ඒ හින්දා ලෙඩාට වෙදකම් කරන්න නොයෙකුත් ජාතියේ දොස්තර මහත්තුරු, ගමේ වෙද මහත්තුරු, හෝමියෝපති දොස්තරලා ගෙන්නුවා. ඒත් පලක් වුණේ නැහැ. මේ ලෙඩා විඳින වේදනාවෙන් එයා මුදාගන්න මේ කාටවත් බැරි වුණා. මේක මේ විදියට සති ගණනක් එක දිගටම සිදු වුණා. මේ කතාව අවසන් කරමින්, අන්තිමේදී ගෙදර තිබුණු කලබලය සමහන් වුණා කියා කතාකාරයා කියනවා. ඒත් ඒ ලෙඩාගේ මරණයෙන් නොවෙයි. මැරෙන්න විනාඩි 10ක් විතර තියා එයා හොඳ සිහියෙන්, බොහෝම නිරවුල් මනසින් සිටියා. බොහෝම තැන්පත්කමින් සිටි ඔහු ඊට පසුව මැරුණා. මේක කතාවක් වුණත් මෙය මරණාසන්න වූ බොහෝ දෙනාට පොදු දෙයක් විත්තිය හෙදියන්, වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව මරණාසන්න වූ බොහෝ දෙනෙකු ජීවිතයේ අවසාන මොහොතේ බොහෝම පැහැදිලි, නිරවුල් මනසින් සිටිනවා.
දැන් මම මේ පන්සලට එන කෙනෙකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමක් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තිය සමහර විට අදත් මෙතන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත් ඇයගේ සහෝදරියත් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදු වන තුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙළමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදු වෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මමද මේ විදිහට මරණාසන්නව සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි.
අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදු වුණා. ඔහු අන්තිම හුස්ම හෙළීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇති වූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා “තාත්තේ, අපි ඔයාට ආදරෙයි” කියා කිව්වා. ඉන් පසු ඔහු ඇස් දෙක පියාගත්තා. ඔහු මිය ගියා. මේ සිදු වූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන් නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
මේ සමඟ අපූරු සිද්ධියක් ‘ටයිම්’ සඟරාවේ මනස ගැන විස්තර වූ ලිපියක තිබුණා. මා හිතන්නේ මේ ‘ටයිම්’ සඟරාවේ පිටපතක් අපේ ආරාමයේ තිබෙනවා. මේක මනස, ශරීරයෙන් වෙන් වීම පිළිබඳ කදිම සිද්ධියක්. මේ සිද්ධියට අදාළ තැනැත්තා දරුණු මොළයේ ගෙඩියකින් පීඩා වින්දා. මේ සිද්ධිය විස්තර කරන්නේ එම රෝගියාට රෝහලේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා. මොළයේ ගෙඩිය බොහෝම උත්සන්න වී තිබුණු නිසා රෝගියා ලෙඩ ඇඳේ දවස් ගණනක් තිස්සේ සිහිමූර්ඡා වී සිටියා. මොළයේ හැදුණු ගෙඩිය නිසා මොළයෙන් විශාල කොටසක් අක්‍රිය වී තිබුණා; මැරී තිබුණා. ඒ නිසා කතා කිරීම වැනි මොළයෙන් සිදු වන උසස් ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම අතුරුදන් වී තිබුණා. මොළයේ ඉතිරි වී තිබුණු සුළු කොටස නිසා යාන්තමට පණනල අල්ලාගෙන සිටියා.
හුස්ම ඉහළට පහළට හෙළීම වැනි ශරීරයේ මූලික ක්‍රියාකාරකම් පමණක් යාන්තමින් සිදු වුණා. හිටිහැටියේම ඔහුට සිහිය ඇවිත් ඇස් හැර බැලුවා. ඒ විතරක් නොවෙයි. මිනිත්තු 15ක් විතර වේලාවක්, ඔහුගේ පවුලේ ඇත්තන් සමග කතාබහ කළා. විනාඩි 15කට විතර පස්සේ ඔහු සියලු දෙනාගෙන් සමුගෙන, අවසන් හුසම හෙළුවා. මේ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු විස්මයෙන් විස්මයට පත් වුණා. මක් නිසාද කිව්වොත්: මේ කියන වේලාව වන විට ඔහුගේ මුළු මොළයම මැරී අක්‍රියව තිබුණා; මොළයේ කිසිම දෙයක් ඉතුරු වී තිබුණේ නැහැ.
මහාචාර්ය ලෝමල් විසින් අනාවරණය කර ඇති සිද්ධියක් මම මීට පෙරත් කියා ඇති. මේ මහාචාර්යවරයාගේ විශ්වවිද්‍යාලයේ ගණිත විෂයය හැදෑරූ එක්තරා ශිෂ්‍යයෙකුගේ හිසෙහි අසාමාන්‍ය පෙනුමක් තිබුණු නිසා ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවාම ඔහුට මොළයක් නැති බව අනාවරණය වුණා. මුළු මොළයම අතුරුදන් වී තිබුණා. ඔහු ගණිතය ගෞරව උපාධිය හැදෑරූ උපාධි අපේක්ෂකයෙක්. පෙම්වතියක් ද සිටි සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙක්.
තමන්ට මොළයක් නැති බව ඔහු දැන සිටියේ නැහැ. මේක මේ විදිහට සිදු විය හැක්කේ කෙසේද? මා දන්නා තරමට ඒ විතරක් නොව, බුද්ධාගම පවසන විදිහට ඔබේ මනසට ඔබේ ශරීරයෙන් පිටතට වී ක්‍රියාකාරී විය හැකියි. ශරීරයෙන් වෙන් වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක්‍රියාකාරකම් ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක්‍රියාකාරි වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදු වන්නේ මෙන්න මේකයි; ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවකට, තවත් විදියකට කිව්වොත් නිර්මලතාවකට පත්වන හැටි මා දැක්කා.
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත් වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංගී‍්‍රසියෙන් සඳහන් කරන විදිහට ව්ඥචප ච්ඥචබඩ ඡ්යනඥපඪඥදජඥ ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත් වීමෙන් පසුව මනස ශරීරයෙන් වෙන් වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මෝටර් රථයක බාවා තිබියදී සිදු වන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත් වී, පසුව ප්‍රාණය ලැබ, ජීවත් වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදු වූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන් දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන් වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත් නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (ර්‍ථඪථ ඍචද ඹ්ධථථඥත) වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලළා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී, සිරුර මේසයක් මත හෝ වෙන යම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැරදමා ආ සිරුර දකිමින්, සිදු වන දේවලට ඇහුම්කන් දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.
ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්: ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා. ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා. මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.
ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා. “ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා.
මේ වගේ කථා අප්‍රමාණයි. ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. නැත් නම් මේ සමාන වෙනත් අයගේ අත්දැකීම් ඔබ අසා ඇති. මම මේ මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූවාම, දේශනය නිම වුණාට පසු තුන්හතර දෙනෙක් පැමිණ, “ඒ වගේ දේශනයක් කිරීම ගැන ඔබට බොහෝම ස්තුතියි. මේ වගේ අත්දැකීමක් මටත් තිබෙනවා” කියා කියනවා. “මමත් තාවකාලික මරණයට පත් වී මගේ සිරුරෙන් ඉවත් වුණා” යැයි ඔවුන් කියනවා.
.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර

෴සුනීතගේ පූර්ව කර්මය෴ සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)

෴සුනීතගේ පූර්ව කර්මය෴

මෙතුමා පෙර එක් ජීවිතයකදී දගකාර කුඩා ළමයෙකුව සිටියදී දිනක් පසේ බුදු කෙනෙකු දැක ,මොකද ඔබ වහන්සේ තුවාල කාරයෙක් වගේ මුළු සිරුරම පොරවාගෙන පිණ්ඩපාතේ යන්නේ ? මොකද ඔබ
වහන්සේට බැරිද කෘෂිකර්ම ආදී රැකියාවක් කොට ජීවත් වෙන්න? ඉදින් මොනවත් බැරිනම් අනුන්ගේ වැසිකිළිවල අසූචිවත් ඇද ජීවත් වෙන එකනේ තියන්නේ කියා කියන ලදී මෙහි විපාක වශයෙන්
නිරයේ බොහෝ කාලයක් පැසී පසුව බොහෝ ආත්ම සිය ගණනක් අනුන්ගේ වැසිකිළිවල අසූචි අදින පුද්ගලයෙකුව ජීවත් වන්නට සිදුවුනා ,,,,අප බුදු සසුන කාලයේ ද රජගහ නුවර අනුන්ගේ වැසිකිළි පිරිසිදු කරන
අසරණයෙක් වී ඉපදුණා මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මාහා කරුණා දැලට හසුවී පෙරකරන ලද පාරමී ඇති මෙතුමා පැවදි කල අතර නොබෝකලකින් විදසුන් වඩා රහත් වුණා
බලන්න පිංවතුනි පවක මහිම ,සිල්වත් ගුණවත් පැවදි උතුමන් වහන්සේලාට දැන හෝ නොදැන කරන ලද සුළු වූ වරදකින් පවා ලැබෙන විපාකය ,ඒ කරන ලද සුළු දෙයට සාපේක්ෂව අනන්තය.හිතා ගත නොහැකි තරම් දුක් විපාක ව්දීමට සිදුවේ.
මේ දගකාර ළමයා තමන් කරන මේ කියන අපහාසාත්මක වදන් තමන්ට මෙපමණ විපතක් කරන්නේය යැයි නොසිතන්නට ඇත ,,එහෙත් ඔහු එහි විපාක වශයෙන් බොහෝ දුක්වලට ගොදුරුව ගියේය.
ඔබත් මේ කරුණු නුවණින් සලකා බලන්න සිල්වත් ගුණවත් පැවදි උතුමන් වහන්සේලාට කියන ලද අපහාසාත්මක වදන කින් උවද බොහෝ දුකකට ගොදුරුවන බව මෙයින් පැහැදිලිවේ.
තෙරුවන් සරණයි
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)

Sunday, June 7, 2015

ඉතා පැරැණි සිංහල බණ කතා


භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව
අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. (2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත්දෙනෙක් ද එක් දුවක්දැයි දරුවෝ අට දෙනෙක් වුහ. (3) දුක්භික්භයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝද අඳුනන්නෝ ද පරලොව ගියහ. (4) ගෝපනය කළ සිතැති පි‍්‍රයශීලී වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී. (5) ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍රහ කෙළේය. කාලවිපත්තිය නිසා රෝග - දුර්භික්ෂාදී භය තුනක් හටගත් විට සැටයොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය.
(7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. (8) යටකී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහවනයට පිවිසියහ. (9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමු ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමුකොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.
(1) මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. (12) දික් වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වු සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු පේ‍්‍රතයන් මෙන් භයානකව පෙනුණාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ පේ‍්‍රතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රයද බිම දමා දිව්වේය. (15) ඔවුහු ඒ වස්ත්‍රය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය” යි කියා සිය සොහොයුරියට දුන්හ. (16) ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය. (17)
තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි. (18) එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිටවී ගොස් පඳුරු අතරෙහි සැඟවි සිටියාය. (19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කෙළේය. (20) “වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය. (21) පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුය. ආශ්‍රවක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි” යි (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇතිබව දැක බවුන් වඩා රහත් විය.
(23) සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥවූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “ නැගණියෙනි, කුමකට භය වුවාද ? සැඟවුණේ කුමකට දැ”යි ඇසූහ. (27) ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය. (28) එයසා සතුටු සිතැති ඒ සියලුදෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. (30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති.
(31) එවිට සතුටට පත් සොහොයුරෝ “එය කවුරුන් දෙන ලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. (32) “තෙරුන්ට වස්ත්‍රය දී මම බියපත්ව නිදා ගත්තෙමි. දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ”යි ඕ කීය. (33) “සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමූද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හී (35) මෙසේ දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරිකොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.
(36) මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය. (37) තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා “ඉදින් මේ ගෙයි කැඳ බත් ආදී යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාලදානයක් දෙන්නෙමි” යි කීය. (39) “සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ” යි තරුණිය කීය. (40) පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබාගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය. (42) ඒ භික්ෂාව පිළිත් වැඩූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳන්ට පෙරම උත්සාහ කොට රහත් බවට පත් විය.
(43) ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකාර දුණි. (44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා “දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද ? කවරෙකුට ප්‍රශංසා කෙරෙහිද ?” යි විචාළේය. (45) “මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි. (46) ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය. (47) ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුªටු වූ මම ඒ දෙනට සාධුකාර දුනිමි” යි දේවතාවා කීය.
(48) එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා “ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව“ යි නියම කොට යැවීය. (48) ඒ මිනිසා වහාගොස් ඒ තරුණයා ;සායාගෙන ආවේය, රජතෙම ඔහු දැක: (50) තිස්ස, තෝ කළ පිනැත්තෙහි, මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව“ යි කීය. (52) ඔහුට සතුටු වූ මහරජ ඇත්අස්රිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.
(53) මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දිනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට පැමිණියේය. (54) අර කී කැලේ විසු සොහොයුරෝ සත්දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. (55) එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමතිතෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව (56) “සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව්” යයි කීය. (57) සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.
(58) මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ. (59) ඒ දෙදෙන මහසෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍රවලින් කොඩි සාදා නැංවූහ.
(60) මෙසේ ඔවුහු ත්‍රිවිධරත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැරදමා දිව්‍ය ශරීර ලබාගත්හ. (61) එබැවින් රත්නත්‍රය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේ

අපායේ උපතක්‌

අපායේ උපතක්‌
ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.
විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.
නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.
සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.
ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ

Sunday, March 29, 2015

ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.
සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.
ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.
මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.
මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.
මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.
තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.
මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.
මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)
මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.
මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.
මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.
මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.
මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.
මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි.
මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය.
අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.
ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.
(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )
මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි

කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය

කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අත්තාහි අත්තනෝ නාථෝ
කෝහිනාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
සැදැහැවත් පින්වතුනි,
අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම් පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි පිහිට ලබන්නේය”
මේ අනුව පැහැදිලි වන්නේ කිසිම පුද්ගලයෙකුට පිහිට වීමට වෙනත් කිසිවෙකුටත් බැරි බවත්, තමාගේ පිහිට තමා විසින්ම ළඟා කරගත යුතු බවත්ය. මෙහි 'පිහිට 'යනුවෙන් අදහස් කළේ තමා විසින්ම කුසල් කිරීමෙන් නිවන් මග අවබෝධයට සුදුස්සෙකු වීමයි. එය කළ හැක්කේ තමාටමයි. වෙනත් අයෙකුට එය කළ නොහැකිය.
තමන් හිසට තම අතමය සෙවණැල් ල
අනුනු බලා සිටියොත් නම් වැනසිල් ල
කළහොත් මනාකොට සය ඉඳුරන් මෙල් ල
ලැබගත හැකිය ලොව්තුරු අම සැනසිල් ල
මෙම කවියෙන්ද හෙළි වන්නේ තමාගේ කටයුතු තමාම කරගත යුතුය. වෙනත් කෙනෙකු කර දෙන තුර බලා සිටීම දුකට හේතුවක් බවයි.
මාතෘකා ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැවැත්නුවර ජේතවනාරාමයේදි කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරභයායි. එම කතා පුවත සැකෙවින් මෙසේය.
රජගහනුවර සිටි එක් සිටු දුවක් යමක් තේරුම් ගැනීමට හැකි වයසට පත් වූ පසු පැවිදි වීමට බලවත් ආශාවක් දැක්වූවාය. එහෙත් දෙමාපියන්ගෙන් ඇයට ඒ සඳහා අවසරයක් නොලැබූ වැඩිවියට පත්වූ ඇය පතිකුලයට ගොස් සැමියා ගේ නිවසේ පතිනියක්ව වාසය කළාය. වැඩිකල් නොගොස් ඇයගේ කුස තුළ දරු ගැබක් හට ගති. එහෙත් ඒ බව ඇය නොදත්තාය. සැමියාගෙන් පැවිදිවීමට අවසර ඉල්ලීය. එයට කැමැති වූ සැමියා මහත් සත්කාර කොට ඇය භික්ෂුණි අසපවුකට ගෙන ගොස් පැවිදි කරවීය. නොදැනුවත්ව ඇය පැවිදි වූයේ දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුණි අසපුවකයි.
ටික දිනකින් භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැක එසේ වීමට හේතු විමසීය. එහිදී ඇය තමාගේ නිර්දෝෂිභාවය හෙළිකරන ලදී. සීලයට හානියක් නොවූ බව පැවසුවාය. පසුව මේ බව දෙව්දත් තෙරුන්ට සැලකිරීමෙන් ඇය උපැවිදි කරන ලෙස භික්ෂුණීන්ට දන්වන ලදී. එහිදි එම භික්ෂුණිය තමා දෙව්දත් තෙරුන් උදෙසා පැවිදි නොවූ බවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් පවසා උන් වහන්සේ වෙත පමුණුවන්නැයි ඉල්ලීය. එම භික්ෂුණීහු ඇය දෙව්රම් වෙහෙරේදී බුදුරජාණන් වහන්සේ හමුවට පත් කරන ලදී. උන්වහන්සේ ඇය ගිහි කාලයේ මෙම ගර්භය පිහිටි බව දැන අන් අයගේ චෝදනාවෙන් ගැලවීම සඳහා මේ ගැන පරීක්ෂණයක් කරවන ලදී.
ඒ සඳහා කොසොල් රජතුමා, අනේපිඩු සිටුතුමා, විශාඛා උපාසිකාව ඇතුළු පිරිස ඉදිරියේ උපාලි තෙරුන්ට ප්‍රශ්නය විසඳීමට නියම කරන ලදී. උපාලි තෙරුන් වහන්සේ කොසොල් රජු ඉදිරියේ විශාඛාව කැඳවා ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. විශාඛාව යටතිර ඇද ඇයගේ අත්පා නැබ, උදරය ආදිය පරීක්ෂා කර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටා ඇති බව තීරණය කොට තෙරුන්ට ඇගේ නිවැරැදිභාවය ප්‍රකාශ කරන ලදී. උපාලි තෙරුන් ඒ බව පිරිස මැද ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඇයගේ දරුගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුරදුන් කල කරන ලද ප්‍රාර්ථනයක් අනුව මහත් ආනුභාව ඇති පුතනු කෙනෙක් බිහි කළාය. දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවෙකුගේ ශබ්දය අසා ඒගැන විමසා දරුවා මාලිගයට ගෙන ගොස් කිරි මව්වරුන්ට භාර කරන ලදී. නම් තබන දින කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුණ බැවින් කුමාර කස්සප නමින් හැඳින්වුනි.
ළමා වයසේදී එම සම වයස් දරුවන් සමග සෙල්ලම් කරද්දී අනෙක් දරුවන්ට පහර දුන් විට මව පියා නැති එකා අපට පහර දුන්නේ යයි කී විට, රජුවෙත පැමිණ තම මව් කව්දැයි විමසූවිට කිරි මව්වරු මව් ලෙස පෙන්වුවත් එය භාර නොගත් බැවින් ඇත්ත හෙළි කිරීමට සිදුවිය. දරුවාගේ මව භික්ෂුණියක් බව ප්‍රකාශ කළ විට බලවත් කම්පාව ට පැමිණ පැවිදි වීමට රජුගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වීය. උපසම්පදාව ලබා කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ වූහ.
කුමාර කාශ්‍යප තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන්ගෙන භාවනා කළත් අධිගමයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබා ගැනීමේ අදහසින් අඹ වනයේ සිටින කල කාශ්‍යප බුදුරදුන් කාලයේ එකට මහණදම් පිරූ අනාගාමි ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් කුමාර කාශ්‍යප තෙරුන්ගෙන් ප්‍රශ්න 15 ක් විමසා මේවා බුදුරදුන් හැර වෙනත් අයෙකුට විසඳීමට නොහැකි බව පැවසූයෙන් කුමාර කාශ්‍යප තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ එම ප්‍රශ්නවලට පිළිතුරු දැන ගැනීමත් සමඟ රහත් බවට පත්විය.
කුමාර කාශ්‍යප තෙරුන්ගේ මව් භික්ෂුණිය තම පුතුගෙන් වියෝව දුකෙන් කල් ගත කළාය.දිනක් තම පුතු අතුරු පාරකින් යනු දැක පුතා පුතා යයි අඬගැසුවාය. පය පැකිලී බිම වැටුණාය. ගැලවුන සිවුරද අතින් රැගෙන දුව ගොස් පුතුගේ අතින් ඇල්ලුවාය. කුමාර කාශ්‍යප තෙරුන් ඇයගේ දරු සෙනෙහස නැති කිරීම සඳහා කතා කරමින් “මොකද මේ කරන්නේ තවමත් දරු ස්නේහය නැති කර ගන්න බැරි වුණා දැයි” විමසීය. දෙතුන් විටක්ම දැඩි ලෙස කතා කළෙන් පුත්‍ර ස්නේහය දුරු කොට එදිනම ඇය රහත් වූවාය.
පසු කලෙක දම් සභා මණ්ඩපයේදී භික්ෂූන් කුමාර කාශ්‍යප තෙරුන් හා මෑණියන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වූ බව ප්‍රකාශ කලෙන් බුදුන් වහන්සේ වැඩමවා දැන් මතු නොවෙයි පෙරද මොවුන්ට මා පිහිට වූයේයයි පවසා නිග්‍රෝධ ජාතකය දේශනා කළහ. එකල ශාඛ මිග දෙව්දත් වු බවත්, නිග්‍රෝධ මිග බුදුන් වහන්සේ වූ බවත්, මරණයට නියම වූ මුව දෙන කුමාර කාශ්‍යප මාතාව බවත්, දේශනා කළහ. දරු සෙනෙහස දුරු කර තමන්ට පිහිට තමන්ම බව ඔප්පු කරමින් කුමාර කාශ්‍යප මාතාව රහත් වූවාය.
මේ අනුව හැම කෙනෙකුටම තමාගේ පිහිට මිස වෙනත් කිසිවෙකුගේ පිහිටක් නැති බව පැහැදිලි වේ. බොහෝ මිනිස්සු තමාගේ දෑසට නොපෙනෙන අදෘශ්‍යමාන දෙවි කෙනෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ ඇතැයි විශ්වාස කොට ඔවුන්ගේ පිහිට පැතීම දක්නට ලැබේ’.
බුදු දහම පුද්ගල නිදහස අගය කරමින් තමාගේ විමුක්තිය තමා විසින්ම සාදාගත යුතු බව උගන්වයි. ඔබ විසින් උත්සාහ කටයුතුයි. කෙලෙස් තැවීම දැවීම සඳහා වීර්ය වැඩිය යුතුයි. බුදුවරු නිවන් මග කියා දෙති. කිසිවෙකු අත අල්ලා නිවනට නොපමුණුවති. තමා විසින්ම උත්සාහයෙන් නිවන් මගට යා යුතු ය. අරි අටඟි මග පිළිපදින්න මා විසින් කෙලෙස් නමැති උල් උදුරන මේ මග දැන කියන ලදී. මෙයින්ද පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ මග කියා දෙන්නෙකු මිස දුකෙන් මුදවන්නෙකු නොවන බවයි. දුකින් මිදීම තමා විසින්ම කළයුතුය. තම තමන්ගේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව තමා විසින්ම කර ගත්තකි. අනෙකෙක් අනෙකෙකු පිරිසුදු නොකෙරේ. මෙයින්ද හෙළිවන්නේ පුද්ගලයාගේ වගකීම ඔහුටම පවරා ඇති බවයි. තමා විසින් කරනු ලබන පින තමාගේ සැපයට හේතුවේ. තමා විසින් කරනු ලබන පව දුකට හේතුවේ. දුක සැප උරුම කරගන්නේ වෙන අයෙකු නොව තමා විසින්මය. බුදු දහමේ පමණක් උගන්වන මෙම ඉගැන්වීම තුළින් තමා ගැන ආත්ම විශ්වාසයක් පුද්ගලයා තුළ ජනිත කරවයි. විමුක්තිය ලබා ගැනීමේදීද, තම තමාගේ උත්සාහය ධෛර්යය අනුව එය සිදු කරගත හැකිවේ.

Monday, October 27, 2014

පින

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.

කුසල් දහමෙහි පමා නොවෙමු

තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු ය.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො
පින්වත්නි,
ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් වෙයි. ළමා, තරුණ සහ මහලු වශයෙනි. දිවියක සාර්ථකත්වය සඳහා මෙකී අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් කුසල් දහම් රැස්කරගත යුතු ය. තුන් අවස්ථාවේදීම කුසල් සිද්ධකරගත හැකිනම් ඉතාමත් හොඳයි.එසේ කුසලයෙන් පෝෂණය කරන ලද ජීවිතය බෙහෙවින්ම සාර්ථකය.
ජීවිතයක ප්‍රාථමික අවස්ථාව වන බාලවිය ශබ්ද ශාස්ත්‍ර උගෙනීමට පමණක් නොව, පිනට දහමට යොමුවීමට ද බාධාවක් නැත. ඒ සඳහා විශේෂයෙන් මවුපිය, ගුරුවර ආදි වැඩිහිටි පිරිසගේ මඟ පෙන්වීම ඉතා අවශ්‍යයි. සසරේදී ගුණදම්පුරා, බැවුම් වඩා කළණ මිතුරු ඇසුරක් ලබා ඇත්නම් ළමා අවධියේ වුවත් මඟ පල ලබාගත හැකිය. බුදුසසුනේ එවන් උත්තරීතර තත්ත්වයට පත් කුඩා තෙරණුන් වහන්සේ ගැන කොපමණවත් කරුණු සඳහන්ව ඇත. සුමන, සෝපාක, සංකිච්ඡ, රේවත සහ පණ්ඩිත වැනි තෙරුණුන් වහන්සේ සත් හැවිරිදි වියේදීම රහත් බවට පත් උතුමෝ වූහ.
සත් හැවිරිදි රාහුල පොඩිහාමුදුරුවෝ ද උතුම් රහත්ඵලයට පත්ව සිටියහ. දොළොස් හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ ධර්මාශෝක මහ අධිරාජයා බුදුසමය වැළඳගෙන සසුන් දියුණුවට සිදුකළ මෙහෙවර සදානුස්මරණීය වේ.
ජීවිතයේ දෙවැනි අදියර වශයෙන් සැලකෙන තරුණ අවධිය ඉතා වැදගත්ම කාලයයි. කායික, මානසික ශක්තිය ඉහළින්ම පවතින මෙම අවස්ථාව කුසලට දහමට නැඹුරු කිරීමෙන් සියලු අර්ථ සිද්ධීන් සපුරාගත හැකිය. බුදුසමයේ ප්‍රාථමික අවධියේ සසුන්ගතවූවන්ගෙන් වැඩිදෙනා යොවුන් වියේ පසුවූ අයයි. බරණැස් සිටුපුත් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ සගයන් සිව්පනස් දෙනාත් තරුණයෝ ය. භද්දවග්ගිය කුමරුන් හා උපතිස්ස, කෝලිත දෙයහළුවන් ද එසේමය. මේ ආදී දහස් සංඛ්‍යාත තරුණ පිරිස් බුදු සසුනේ පැවිදිව උත්තරීතර අරහත්ඵලය සාක්‍ෂාත් කරගත්හ. අප සිදුහත් කුමරාණන් ද ගිහිගෙය අතහැර ගියේ එකුන්තිස්වැනි වයසේදී බව බුද්ධචරිතයෙහි ප්‍රකට කරුණකි.
මහලු වයස හෙවත් පශ්චිම අවධිය වැඩි වැඩියෙන් පින් කිරීමට යොමුවන කාලයකි. පොහෝ දිනවල විහාරස්ථානවල ධර්මශාලා පිරී පවතින්නේ මහලු උවැසි උවසුවන්ගෙනි. උපාසක අම්මා, උපාසක මහත්මයා යන බෞද්ධ ආගමික ගෞරව නාමයෙන්ද ඔවුහු හැඳින්වෙති. යොවුන් වියේ පසුවන ඇතැම් අය එයට අකැමැත්තක් දක්වති. සමහර තරුණ පිරිස් එම නාමය ලජ්ජාවට කාරණයක් ලෙස සලකති. එහෙත් එය සාවද්‍යය. බෞද්ධ ගිහියාට උරුමවූ උසස්ම වචනය එයයි. ඉන්ද්‍රිය දුබලත්වය නිසා මහලුවිය සිල් පිරීමට හෝ බැවුම් වැඩීමට අපහසු වූවත් උනන්දුවීම හොඳයි.
ඉහත සඳහන් ගාථාවට අනුව ජීවිතයේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවක හෝ කුසලට නැඹුරුවිය යුතු බව දැක්වේ. එහි සම්පූර්ණ තේරුම මෙසේයි.
“තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරුවිය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය.”
මෙම ගාථාව බෝධිරාජ කුමාරයා ඇරැබ දේශන කරන ලද්දකි. එහෙත් සසර සැරිසරන අප හැමදෙනා උදෙසාම දේශනා කරන ලද්දකැයි සිතිය යුතු ය. උපත ලැබූ සැමදෙනාම තමාගේ ජීවිතයට කැමැතිය. ගෙල වැල දමාගත් පුද්ගලයකු වුවත් අන්තිමට දඟලන්නේ එයින් මිදීමටය. විශේෂයෙන් මිනිසත්බවක් ලබාගත් සැමදෙනම සිතිය යුත්තේ දුර්ලභව ලැබූ මේ මිනිසත් බව සාර්ථක කර ගැනීම පිළිබඳවය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බවය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දස අකුසලින් වැළැකී දස කුසල්හි යෙදෙමින් දිවිමඟ අර්ථවත් කරගත යුතු ය.
කුසල් හෝ අකුසල් සිදුවීමට හේතුවන ප්‍රධාන දොරටු තුනක් ඇත. කය, වචන හා මන යනුවෙන් එම ද්වාර ත්‍රය දැක්වේ. කාය ද්වාරික අකුසල් තුනකි. සතුන් මැරීම, සොරකම් කිරීම හා පරදාරසේවනයයි. වාග් ද්වාරයෙන් සිදුවන අකුසල සතරකි. බොරුකීම, කේලම්කීම, පරුෂ වචනකීම සහ නිසරු වචන දෙඩීම යනු එම සතරයි. මනැස මූලික අකුසල තුනකි. විෂමලෝභය, ව්‍යාපාදය හා මිථ්‍යා දෘෂ්ඨිය යනුයි. මේ දස අකුසල් වලින් වැළැකී දාන ශීලාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කිරීම දෙලොව යහපත පිණිස හේතු වේ.
ඉහත සඳහන් කළ තුන්කාලයෙන් එක් අවස්ථාවකදී හෝ එබඳු යහගුණ වඩා අරි අටඟි මඟට පිවිස උතුම් නිවන්සුවය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අදිටන් කරගත යුතු ය.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!