Showing posts with label ගෞතම බුදුරජාණන් වහන්සේ. Show all posts
Showing posts with label ගෞතම බුදුරජාණන් වහන්සේ. Show all posts

Sunday, October 19, 2014

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසෙකි



බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ වාර්තා කෙරෙන මහාපරිබ්බාණ සූත්‍රයෙහි “ආනන්ද දැන් මම ජරාවට පැමිණියෙමි. වෘද්ධයෙමි වයස්ගත වූයෙමි. දිගු කලක් දිවි පැවැත් වූයෙමි. මගේ වයස දැන් අසූවකි. දිරූ ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවාගෙන යන්නාසේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටියි.” යන ප්‍රකාශය මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් භාගයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය කෙබඳු වී දැයි වටහාගත හැකි වේ

බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මය දේව නියෝජිතයෙක් හෝ දිව්‍යමය පණිවිඩයක් නොවේ. දේවවාදි ආගම්වල දක්නට ලැබෙන කිසිවක් බුදුසමයෙහි දක්නට නොලැබේ. දිනක් උක්කට්ඨා හා සේතව්‍යා අතර මාර්ගයේ පා ගමනින් වඩින බුදුරදුන්ගේ පියවර සටහන් දුටු ලක්‍ෂණ ශාස්ත්‍රය ප්‍රගුණ කළ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා පුදුමයට පත්ව බුදුරජාණන් වහන්සේ හමුවෙහි “භවත්නි ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? යක්‍ෂයෙක්ද? මනුෂ්‍යයෙක්ද?” යනුවෙන් විමසීය. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ දෙවියෙකු හෝ ගාන්ධර්වයෙකු හෝ යක්‍ෂයෙකු හෝ මනුෂ්‍යයෙකු හෝ නොවන බවයි. හවත්නි එසේ නම් ඔබ කවරෙක්දැයි බමුණා පෙරළා ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වාදෙමින්
“යම් ආශ්‍රව කොටසක් ප්‍රහීණකර නොමැති නිසා දෙවියෙකු වේ නම් මම ඒ සියලුම ආශ්‍රව නැවත නූපදනා ලෙස ප්‍රහීණ කළෙමි. එසේම ගාන්ධර්ව, යක්‍ෂ, මනුෂ්‍ය යන තත්ත්ව හා සම්බන්ධ ආශ්‍රවද ප්‍රහීණ කළෙමි. යම් සේ උපුල්, නෙළුම්, සුදුනෙළුම් ආදි මලක් දියෙහි වැඩී දියෙන් පැන නැගී දියෙහි නොගැටී පවතින්නා සේ මම ලොවෙහි උපන්නෙමි, ලොවෙහි වැඩුනෙමි, ලෝකය අභිභවා ලෝකය හා නොඇලී වාසය කරමි. බමුණ මා බුද්ධ යැයි දැනගන්න (බුද්ධොති බ්‍රාහ්මණ මං ධාරෙහි)”
අංගුත්තර නිකායේ දැක්වෙන මෙම දෝණ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි හඳුනාගත හැකිවේ. උන්වහන්සේ දේව දූතයෙකු නොවන අතරම සාමාන්‍ය මනුෂ්‍යයෙකු ද නොවේ. මනුෂ්‍යයෙකු නොවේය යනුවෙන් අදහස් කරන්නේ කෙලෙස්වලින් සමන්විත සාමාන්‍ය මිනිසා හා සමාන අයෙකු නොවන බවයි. බුදුරන් ප්‍රඥා හා කරුණා යන ආධ්‍යාත්මික ගුණ සමුදායේ ප්‍රතිමූර්තිය හෙයින් උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොවේ. මෙනිසා බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හඳුන්වා දෙන්නේ බුද්ධ යන අභිධානයෙනි. මෙම සූත්‍රයෙහි ඇතුළත් නෙළුම් උපමාව බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයාගෙන් වෙන්කොට හඳුනා ගැනීමට උපයෝගී වේ. මඩෙහි හටගන්නා නෙළුම ජලයෙන් උඩට පැමිණ ජලය හා නොගැටී තිබේ. එමෙන් මිනිස් ලොව ජනිත බුදුරජාණන් වහන්සේ සියලු මානසික දුර්වලතා මුලිනුපුටා දමා ලෝකය හා නො ඇලී ලෝකයට ඉහලින් වැඩ සිටිති.
බුදුරජාණන්වහන්සේ කරජ කායෙන් මිනිසෙකි. උන්වහන්සේ මිනිස් දෙමාපියන්ට දාව සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලබා තිබේ. සාමාන්‍ය මිනිසා මුහුණ දෙන සියලුම ආකාරයේ ජරා, ව්‍යාධි, මරණ ආදි තත්ත්වයන්ට මුහුණ දුන් අයුරු මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වේ. අවසන් දානය වන චුන්දකර්මාර පුත්‍රයාගේ සූකර මද්දවය වැළදීමෙන් අනතුරුව ඇති වූ උදරාබාධය හේතුවෙන් ක්ලාන්ත බවට පත් බුදුරජාණන් වහන්සේ, ආනන්ද හිමියන් අමතා කරන, “ආනන්ද ක්ලාන්ත ගතියයි. සගල සිවුර සිව් ගුණ කර නවා පනවන්න. හිද ගැනීමට අවශ්‍යයි” සහ “ආනන්ද මට පිපාසයි. පැන් ටිකක් ගෙන එන්න” යන ප්‍රකාශන මගින් උන්වහන්සේගේ මානුෂීය ස්වභාවය ප්‍රකට වේ.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ වාර්තා කෙරෙන මහාපරිබ්බාණ සූත්‍රයෙහි “ආනන්ද දැන් මම ජරාවට පැමිණියෙමි. වෘද්ධයෙමි වයස්ගත වූයෙමි. දිගු කලක් දිවි පැවැත් වූයෙමි. මගේ වයස දැන් අසූවකි. දිරූ ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවාගෙන යන්නාසේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටියි.” යන ප්‍රකාශය මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් භාගයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය කෙබදු වී දැයි වටහාගත හැකි වේ. මේ හා සමානම තවත් අවස්්ථාවක් සංයුත්ත නිකායේ ජරා සූත්‍රයෙහි ඇතුළත් වේ. පූර්වාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එක් දිනක් සැදෑ හිරු එළියෙහි පිට තවමින් සිටින අවස්ථාවෙහි ආනන්ද හිමියන් එහි පැමිණ උන්වහන්සේගේ සිරුර පිරිමදිමින් මෙසේ ප්‍රකාශ කළේය.
“ස්වාමිනි ආශ්චර්ය. අද්භූතය. පෙර ඔබ වහන්සේගේ ඡවි වර්ණය බෙහෙවින් පිරිසුදු විය. පැහැපත් විය. ශරීරය මටසිලිටි විය. ඒ සියලු ශරීරය දැන් රැලි වලින් යුක්තය. ශරීරය ඉදිරියට නැමුණු ස්වභාවයෙන් යුක්තය. ඉන්ද්‍රියයන්ගේ වෙනස් බව පැහැදිලිව දිස්වේ. ඇස කන නාසය දිව ශරීරය සහ ඉන්ද්‍රියෝ වෙනස් බවට පැමිණ ඇත.” ආනන්ද හිමියන්ගේ ප්‍රකාශයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ එය අනුමත කරමින් “එය එසේමය ආනන්ද යොවුන් බව ජරාව ස්වභාව කොට ඇත. නිරෝගී බව ව්‍යාධිය ස්වභාවකොට ඇත. ජීවිතය මරණය ස්වභාව කොට ඇත.” යනුවෙන් ජීවිතයේ යථා ස්වභාවය පැහැදිලි කළහ. මෙම ප්‍රකාශන මගින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසා මුහුණ දෙන ශාරීරික දුක්ඛ දායක තත්ත්වයට මුහුණ දුන් ආකාරයයි. ආධ්‍යාත්මික අතින් උන්වහන්සේ සියල්ල ජයගෙන තිබුණ ද මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය දිව්‍යමය නියෝජිතයෙකු නොවන බව පැහැදිලි ය. උන්වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙක් බව පැහැදිලිය.
බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයාය (සත්ථාදේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දහම් දෙසීම පිණිස දෙව්ලොවට ගමන් කළ බව උන්වහන්සේම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ “ආනන්ද මම ඍද්ධියෙන් මනෝමය කයින් බඹලොවට එළඹුණ බව දනිමි... චාතුම්මහභුතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්ට හැකි වෙමියි” දේශනා කළහ. එම අවස්ථාවෙහි ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ එය බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ආශ්චර්යමත් අද්භූත වූවක් බවයි. බුදුරජාණන්වහන්සේගේ මෙම ආධ්‍යාත්මික සක්‍යතාව පදනම් කරගෙන උන්වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙකු වශයෙන් දැක්වීමට විවිධ බෞද්ධ නිකායන් උත්සාහගෙන තිබෙන බව ශාසන ඉතිහාසය පිළිබඳ වාර්තාවලින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර තත්ත්වයට පත්කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදු කළේ මහාසංඝික සම්ප්‍රදායයි. මහායාන බුදුසමයේ ප්‍රභවයෙහිලා මෙම අදහස් බෙහෙවින් බලපා තිබේ.
බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳ ත්‍රිපිටකාගත සාධක මගින් පැහැදිලි වන්නේ උන්වහන්සේ මනුෂ්‍යත්වය උත්තරීතර බවට පත්කළ ශාස්තෘවරයාණන් වහන්සේ බවයි. එසේම මානුෂීය ලක්‍ෂණ ප්‍රකට කෙරෙන කරුණාවේ හා ප්‍රඥාවේ උපරිමයට ලඟා වුණු ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණත්වයට පත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ චරිත කථාවක් සූත්‍ර සාහිත්‍ය මගින් අනාවරණය කරගත හැකිවේ. එම සෑම පුවතකින්ම පෙන්වා දෙන්නේ බුදුරජාණන්වහන්සේගේ උත්තරීතර මානුෂිය ලක්‍ෂණයි. සියලු දෙව් මිනිසුන් තුළ පැවතී මානසික දුර්වලතා සියල්ල බැහැර කළ බුදුරජාණන් වහන්සේ ලොව මිනිසා විසින් මිනිස් බුද්ධිය උපයෝගීකරගෙන ලඟාවිය යුතු ප්‍රඥාවේ අග්‍රඵලය සාක්‍ෂාත් කළ සේක.
අනතුරුව එම උත්තරීතර මනුෂ්‍යත්වය වෙත ලගාවෙන සදාචාරාත්මක ප්‍රතිපදාව ලෝකයට ඉදිරිපත් කළහ. මිනිස් ඉතිහාසයේ පහළ වූ, කරුණාවේ හා ප්‍රඥාවේ අග්‍රඵලය වූ, ලොව අසම සම අනුත්තර උත්තමයාණන් වූ බුදුරජාණන් වහන්සේ ඓතිහාසික මිනිසෙකි. තම ශාස්තෘවරයාණන් වහන්සේ ඓතිහාසික මනුෂ්‍යයෙකු වීම බෞද්ධයෙකුට සතුටුවිය හැකි මෙන්ම ආඩම්බර විය හැකි වෙතත් කරුණක් නොමැත.

Saturday, October 18, 2014

බුද්ධත්වයට පත්වීම

buddathwayata-pathweema

ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ.
උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. ඇතැමුන් පවසන පරිදි එය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර, තවත් සමරෙක්ට අනුව දොළොස්වන මා‍සයේදී එය සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ධ හෙවත් "අවබෝධය ලබාගත් තැනැත්තා" ලෙස හැඳින්විණි. බුද්ධ ධර්මයේ එතුමා‍ශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය ලබාගත් තැනැත්තා ලෙස හැඳින්වේ.

එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.

ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සඳහන් වන කථාවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සඳහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.

මුල් ජීවිතය හා විවාහය

mul-jiwithaya-ha-vivahaya

සුඛෝපභෝගී ජීවිතයකට උරුම ලද සිද්ධාර්ථ කුමරුට විවිධ සෘතු වලදී විසීමට විශේෂයෙන් තැනු මාළිගා තුනක් තිබුණි. එම මාළිගා තුන රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් හැඳින්විණි. සිද්ධාර්ථ කුමරු බලවත් ර‍ජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ආගමික ඉගැන්වීම් හා මිනිසුන්ගේ දුක් කම්කටොළු පිළිබඳව සිද්ධාර්ථ කුමරුට දැනගැනීමට ඉඩ නොතැබුවේය. සිද්ධාර්ථ කුමරුන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වූ මහාප්‍රජාපතී ගෝතමී දේවියයි.

සිදුහත් කුමරුට වයස 16 ක් සම්පූර්ණ වූ පසු සුද්දෝදන රජතුමා විසින් ඔහුව යශෝධරා කුමරියට විවාහ කර දෙන ලදි. යශෝධරා කුමරිය සිද්ධාර්ථ කුමරුගේ සම වයසේ පසු වූ ඔහුගේ ඥාති සොහොයුරියකි. ඇය පුතෙක් බිහි කළාය. ඔහු රාහුල නම් විය. අවුරුදු 29 ක් ගිහිගෙහි සැපවිඳි සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම ගියේය.

සිද්ධාර්ථ කුමරු

siddartha-kumaru

මෞර්ය පෙළපතේ ආශෝක රජතුමාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙර සිදුහත් කුමරු උපත ලැබුවේ ය.සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වූ සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු එතුමාගේ පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතට අනුව සිදුහත්කුමරුගේ මව වන මහාමයා දේවීය දරු ප්‍රසූතියට ආසන්න වූ පසු තම පියාගේ රාජධානිය බලා පිටත්ව ගියාය. ඒ යන අතරමඟදී ලුම්බිණි සල් උයනේදී සල් ගසක් යට දී ඇය සිදුහත් කුමරුව මෙලොවට බිහි කළාය.
සිදුහත් කුමරු උපත ලැබු දිනය නිමිති කරගෙන ථේරවාද බුදුදහම පවතින රටවල වෙසක් උත්සවය සැමරේ. සිදුහත් කුමරුගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරුවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තැබිණි. අසිත තාපසතුමා මෙම දරුවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ සිද්ධාර්ථ කුමරු අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම හේතුකර ගෙන සහ කුමරුගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සුද්ධෝදන රජතුමා‍ කුමරුගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙකුට ආරාධනා කළේය. ඒ සියළු දෙනාම කුමරු බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කළහ.
ඒ අතරින් කොන්ඩඤ්ඤ බමුණා පමණක් සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුද්ධත්වය ලබාගන්න බව ස්ථීරවම ප්‍රකාශ කළේය. පසුව ඇතිවු පුරවෘත්ත වලට අනුව සුද්දෝධන රජතුමා සූර්ය රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගෙන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකිණි. බොහෝ විද්වතුන් විශ්වාසය වන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයකින් තෝරාපත්කර ගත් නායකයකු බවයි.

සිද්ධාර්ථ කුමරු

කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදරය කළහ. ඔවුන් දරුවෙකු බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලයක් බලා සිටියහ.
එක් පෝය දිනක මහමායා දේවිය අපූරු සිහිනයක් දුටුවේය. එනම්, "ඇය නිදා සිටි ඇඳ දෙවිවරු සතරදෙනෙක් විසින් ඔසවාගෙන හිමාලය වනයේ වූ අනෝතත්ත අසලට ගෙන ගියේය. ඉන්පසු ඇය එම විලෙන් ස්නානය කල පසු එම දෙවිවරු ඇය ඉතා සිනිදු සළු පිළි හැන්දුවේය. ඉන්පසු සුදු පාට ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬයෙන් ගෙන ඇය නිදා සිටි ඇද වට තුන් වරක් පැදකුණු කර දකුණු පසින් තම කුසතුලට ඇතුලු වනු ඇය දුටුවාය."
පසු දින ඇය මේ බව රජතුමාට පැවසුවාය. එවිට රජතුමා සිහින පලාඵල දත් බමුණන් කැඳවා සිහිනය විමසූ අතර ඔවුන් පැවසුවේ "දේවිය පිළිසඳ ගෙන ඇති බවත්, දේවිය ඉතාමත් පින්වත් කුමරෙකු බිහි කරන් බවත්ය". එය ඇසූ රජ හා දේවිය බොහෝ සේ ප්‍රීතියට පත්විය.
මාස දහයකට පසු එක දිනක මහමායා දේවිය දරුවා ලැබීම සඳහා තම දෙමාපියන් හමුවීමට යෑමට සුදානම් වූවාය. සුද්ධෝදන රජතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම දේ සකස් කර දුන් පසු මහමායා දේවිය තම පියාගේ රාජධානියට යන්නට පටන් ගත්තාය.
මෙලෙස බොහෝ දුරක් ගිය පසු ඇය සල් ගස් පිරුණු, කුරුල්ලන් ගී ගයන මනරම් උයනක් දැක්කාය. ඇය විඩා නිවා ගැනීමට එහි නතර වූවාය. එහි නතර වූ ඇයට ටික වෙලාවකින් විළිරුදා දැණුනි(විළිරුදා යනුවෙන් සඳහන් කළද සැබෑවටම මවට සහ දරුවාට වේදනාවක් නොවීය). රාජ සේවිකාවෝ ඇය වට තිර රෙදි ඇද්දාහ. ටික වේලාවකින් පින්වත් කුමරෙකු මෙලොවට බිහි විය. (ක්‍රි.පූ 623 ) එම දිනය වෙසක් පොහොය ලෙස හඳුන්වයි.
උපත් ලැබූ සිදුහත් කුමරා සත් පියවරක් ඉදිරියට තබා ,
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
පුට්ඨෝ හමස්මි ලෝකස්ස
ආය මන්තිමා ජාති නත්ථි දානි පුනර්භවෝ
යනුවෙන් පැවසීය.
tiny globe
සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)
එකල සුද්ධෝදන රජුගේ ගුරුවරයෙකු වූ කාල දේවල නම් බ්‍රාහ්මණයෙක් සිටියේය. මිනිසුන් ඔහුව හැඳින්වූයේ "අසිත බමුණා" යන නමිනි. ඔහු වනයට වී තපස් වඩමින් සිටි තාපසයෙකි. කුමරු ඉපදුණු බව අසා පසු දින ඔහු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට පැමිණියේය.
එවිට රජතුමා කුමාරයා ගෙනවිත් බමුණාට පෙන්වූයේය. බමුණා පාද යට අතට සිටින සේ කුමාරයා ගත් නමුත් එකවරම පාද ඉහලට එසවිණි. එවිට අසිත බමුණා කුමාරයාගේ යටි පතුල් පරීක්ෂා කර බලා එහි වූ මඟුල් සලකුණු දැක "මේ කුමාරයා යම් දිනෙක මේ තුන් ලෝකෙටම උතුම් වූ ගුරුවරයෙක් වෙතැයි" පැවසීය. එසේ පවසා අසිත බමුණා කුමාරයාට වැන්දේය. මෙය දුටු සුද්ධෝදන රජතුමාද කුමාරයාට වැන්දේය. මේ පළමුවර වැඳීමයි.
කුමරු ඉපදී දවස් පහකට පසු රජතුමා කුමාරයාට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවීය. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය.
ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය.

සිදුහත් කුමරු ඉපදී දවස් හතකට පසු මවු දේවිය වූ මහමායා දේවිය මිය ගියාය. ඒ වනවිට සිදුහත් කුමරු කුඩා ළමයෙකු වූ හෙයින් ඔහුව රැකබලා ගැනීම සිදුහත් කුමාරයාගේ සුළුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පැවරුණි. මියගිය මහමායා දේවිය දෙව්ලොව මාතෲ දිව්‍යරාජයා නමින් උපත ලැබුවාය.

ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.
වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.
ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.

tiny globe
සිදුහත් කුමරු ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය
බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභනමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.
එසේම කොණ්ඩඤ්ඤ සහ අසිත බමුණන් විසින් කුමාරයා යම් දිනෙක මහල්ලෙක් හෝ ලෙඩෙක් හෝ මළමිනියක් හෝ පැවිදි රුවක් හෝ දුටුවොත් ගිහි ගෙයින් නික්මෙන බව පැවසූ නිසා රාජධානියේ සිටි කිසිම මහල්ලෙකුට, ලෙඩෙකුට හෝ පැවිදි අයෙකුට මාළිගවට ඇතුළු වීම තහනම් කලේය. එසේම මිනිසුන්ට ලෙඩ පිළිබඳව, මරණය පිළිබඳව, පැවිදි විම පිළිබඳව කතා කිරීමද තහනම් කලේය. රජතුමා මේ සියල්ලම කලේ ඔහුව ගිහි ගෙයිම රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

කුමාරයා සතුටෙන් තැබීම පිණිස විවාහයක් කර දිය යුතුයැයි පඬිවරු පැවසීය. ඒ අනුව රජතුමා සිදුහත් කුමාරයාට සොළොස් වසක් වූ කල (දහසය අවුරුද්දක් ) කුමාරයා විවාහ කර දිමට තීරණය කලේය. ඒ අනුව කෝලිය වංශික යශෝධරා කුමාරියව සරණ පාව දීමට තීරණය කෙරුණි.
නමුත් සිදුහත් කුමාරයා පිළිබඳව ඔවුන් හොඳන් නොදැන සිටියහ. කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හැදැරූ බවක්වත් ඔවුන් නොදැන සිටියහ. එම නිසා යශෝධරා කුමාරියගේ පියාණන් වන සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය සිදුහත් කුමාරයාට සරණ පාවා දීම ප්‍රතික්ෂේප කළේය.
ඉන්පසු සිදුහත් කුමාරයා තම නෑ සියන්ගේ අනවබෝධය දුරු කිරීම සඳහා ශිල්ප ශාස්ත්‍ර දැක්වීය. එයින් සතුටට පත් සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය වන යශෝධරා දේවියව සිදුහත් කුමාරයාට සරණ පාවා දුන්නේය.

ඉන්පසු සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.
දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.