Tuesday, August 25, 2015

ata maha kusal


මරණයෙන් පසු

මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?
.
Niwan magata ama dham=නිවන් මගට අමා දම්'s photo.මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.

පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා. ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.
මේ හැර ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත් වී, මනස සිරුරෙන් වෙන් වී, ආපසු මනස සිරුරට එක් වූ තැනැත්තන් එම විරාමය නැත්නම් මරණය හා නැවත ප්‍රාණය ලැබීම අතර කාලයේ ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනෙකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයන් තිබෙනවා. මෙය සමහර විට සමහරුන්ට නිරායාසයෙන් ලැබෙන්නක් හෝ තවත් සමහරුන් පුහුණු කිරීමෙන් ළඟා විය හැකි තත්ත්වයක්.
ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද? කියා දැනගැනීමට ඉවහල් වන මෑතකාලීන සාක්ෂි තිබෙනවා. ඒවා අනතුරකට භාජනය වී, නැත් නම් ශල්‍යකර්මයක් අතරතුරදී තාවකාලිකව මරණයට පත් වී පසුව නැවත ප්‍රාණය ලැබූ අය තමන්ගේ මරණය පිළිබඳ දක්වන අත්දැකීම්. ශරීරය තවකාලිකව මරණයට පත් වූවත් මේ ඇත්තන්ගේ මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට හැකි වීමෙන් පසු නැවත මනස සිරුරට එක් වී ජීවත් වීමට වාසනාව ලැබූ අයයි. මේ තැනැත්තන් සිය තාවකාලික මරණය පිළිබඳ දක්වන අත්දැකීම් මෙහිදී වැදගත් වෙනවා. ජීවිතයේ පසු වුණ විවිධ අවස්ථාවල මෙසේ තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට අවස්ථාව ලැබූවන් පවසන කතාන්දරවලින් කියවෙන්නේ එකම දේවල්ය. මේ සියලු කරුණු එකතු කොට ඔබේ මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද යන දේශනය පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.
මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද වැනි කාරණා විමසා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි? මේ වගේ දේවල් මගින් කලින් කලට අපේ ජීවිතය පිළිබද ආකල්ප පුළුල් වෙනවා. ජීවිතය පිළිබඳව වඩාත්ම වැදගත් වන්නේ අපේ ආකල්පයි. මෙහිදී අප උගන්වන්නේ මෙවැනි කරුණුයි. ඒවා ව්‍යවහාරයට පැමිණි විට ඔබ මරණයට පත් වූ පසු ඔබට සිදු වන්නේ කුමක්දැයි දැනගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් හා අත්දැකීමක් ලබාගත් විට ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයකට සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්නට හැකි වෙනවා; ජීවිතය දිහා සුන්දර ලෙස ඒ වගේම සුබදායකව හෙවත් ධනාත්මකව බලන්නට ඔබට හැකි වෙනවා.
දැන් අපි ආපසු අපේ මාතෘකාවට පිවිසෙමු. අපි ඔබ මරණයට පත් වීමට ආසන්නව ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව මූලිකව විමසා බලමු. මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද කියා ඊට පසුව විමසා බලමු.
ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වන විට උදේ අවදි වුණේ රාත්‍රිය නිදාගන්නට ගිය පුද්ගලයාමයි. සමහර විට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගත වී තිබුණත් උදේ අවදි වන්නේ රාත්‍රි නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත් වූවාට පසුවත් සිදු වන්නේ මෙයම තමයි.
අප මරණයට පත් වීමට ආසන්නව සිදු වන්නේ කුමක්ද කියා විමසීමේදී මා මෙහිදී අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද සිදු වූ හදිසි මරණයක් ගැන නොව, අසනීපයකින් වියපත් වීමකින් නැත්නම් රෝගාතුර වීමක් වැනි දෙයකින් සිදු වන සෙමෙන් මරණයට පත් වීමක් ගැනයි. එය සිදු වන්නේ අපේ පංචේන්ද්‍රියේ, ඒ කියන්නේ ඇසින් දැකීම, කනින් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මණ්‍ය වීමෙන් නැත්නම් ශරීරයේ වෙන් වීමෙන්. බෞද්ධ භික්ෂුවක් විදිහට බොහෝ දෙනෙකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදු වන්නේ කෙසේදැයි දැක බලාගැනීමට මම භාග්‍යවන්ත වී සිටිනවා.
මෙය බෞද්ධ භික්ෂුවක විදිහට අත්විඳින්න ලැබෙන හරිම සිත්කාවදින අත්දැකීමක්. භික්ෂුවක් විදිහට මේ වගේ දුර්ලභ අත්දැකීම් ලබාගන්න ඉඩකඩ ලැබෙන නිසා මේ භික්ෂු ජීවිතය මම මහත් සේ අගය කරනවා. ඒ අතර එහි අගය ගැන සහතික කර කියන්න මට පුළුවන් වෙනවා. මරණයට ආසන්න වූවන්ගේ කටයුතුවලට භික්ෂුවක් විදිහට සහභාගි වීමට නිරතුරුවම මට අවස්ථාව ලැබෙන අතර, ඉන් ලැබෙන අත්දැකීම් හරිම අපූරුයි.
මරණය සිදු වන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුර වූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවකුගේ මරණය සිදු වන්නේ සෙමෙන්. මම මුලින්ම මේ විදිහට සිදු වන මරණ දැක්කම, මරණය සිදු වන්නේ මෙන්න මේ වේලාවටයි, අටටයි නැත්නම් නමයටයි කයා කියන්න බැරි, මිනිත්තු ගණනක් තිස්සේ සිදු වන ක්‍රියාවලියක් විත්තිය මට තේරුණා. මේ ක්‍රියාවලිය පටන් අරගෙන සෙමෙන් සෙමෙන් අවසානයට පත් වනවා. හිටිහැටියේ සිදු වන දෙයක් නොව, ක්‍රියාවලියක්යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. මරණය යනු ක්‍රියාවලියක් මිස සිදුවීමක් නොවෙයි.
මෙය තේරුම් ගත් විට මරණය සිදු වන ක්‍රියාවලියේ අවසානය සිදු වන්නේ ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, ස්පර්ශය, රස විඳීම යන පස් ඉඳුරන්ගේ අතුරුදන් වීම, අවසාන වීම සමග බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමක්, ගඳසුවඳ දැනීමක්, රස විඳීමක්, ස්පර්ශයක් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනෙකු මරණයට පත් වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණාය සිතමින් හඬාදොඩා වැලපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත් වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ නැතැත්තා මරණයට පත් වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදු වන්නේ මෙන්න මේ ක්‍රියාවලියමයි කියන-එක. භාවනාවේ ගැඹුරට යන විට ඔබේ සිරුරෙහි පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත් විට ඔබට මේ වගේ අත්දැකීමකට ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදන් වෙනවා. සෙමෙන් සෙමෙන් මරණයට පත් වීමේදී සිදු වන්නේ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිම කොට සිහි එළවාගන්න පුළුවන් වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම, නැත්තටම නැති වී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන් වීමෙන් ඔබට විශාල සැහැල්ලුවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.
මෙහි තිබෙන ප්‍රයෝජන මොනවාද? මුල්ම කාරණය නම් ඔබේ සිරුර ඔබෙන් වෙන් වී ගිය පසු, අතුරුදන් වී ගිය පසු ඔබට සිරුර නිසා මෙතෙක් විඳින ලද දුක්වේදනාවන්ගෙන් අත්මිදීමක් ලබන්න පුළුවන් වීමයි. එය හරිම යහපත් තත්ත්වයක්. ඔබ ගැන කියන්ට මා දන්නේ නැහැ. නමුත් මා නම් වියපත් වෙමින් සිටින බව මා දන්නවා. දැන් මට වයස අවුරුදු 60 යි. දැනටමත් මට ශරීරයේ රුදා වේදනා, අපහසුකම් දැනෙනවා. හැටේදී මෙහෙම නම් හැටපහේදි, හැත්තෑවේදි කොහොම වේවිද කියා මට සිතෙනවා.
කොහොමහරි තවතවත් වේදනා උත්සන්න වෙන විත්තිය නම් මා දන්නවා. මේ හින්දා මේ ශරීරයෙන් වෙන් වෙන්න ලැබෙනවා නම්, මේ ශරීරය අත්හරින්න ලැබෙනවා නම් කොයිතරම් කදිමද? ඔබේ ශරීරය ඔබෙන් අතුරුදන් වෙන්න පටන් ගත්තාම ඔබට හරිම පුදුමාකාර ආස්වාදයක් විඳදරාගන්න ලැබෙනවා. වේදනා නැහැ, රුදා නැහැ. මීට මිනිත්තු කිහිපයකට ඉස්සර මා භාවනා කරමින් සිටියදී මගේ උගුරේ තිබුණු වේදනාව එහෙම්පිටින්ම අතුරුදන් වී ගියා. පසුගිය සති කිහිපයේදී ඉන්දුනීසියාවේ සිට ආපසු ආවාට පසු මේ උගුරේ අමාරුවෙන් මා පීඩා වින්දා. ඒක මොකක් හරි ආසාත්මිකතාවක් නිසා හැදිච්ච අමාරුවක් වෙන්න ඇති.
ඒ වුණත් කරුණාකර ඔබට කියන්න දෙයක් තිබෙනවා. මා ගැන කරුණාවන්ත වී මට කිසිම බෙහෙතක් දෙන්න උත්සාහ කරන්න එපා. මට අසනීපයක් කියා දැනගත්තාම මගේ දායකයෝ ගෙනත් දෙන බෙහෙත්වලින් බෙහෙත් සාප්පුවක් පුරවන්න බෙහෙත් ජාති තියෙනවා. කරුණාකර මේ සැරේ එහෙම කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
මිනිත්තු කිහිපයකට ඉස්සර භාවනා කිරීමෙන් මා ලත් අත්දැකීම තමයි උගුරේ දැවිල්ල කෙමෙන් කෙමෙන් අතුරුදන් වීම. කොයිතරම් අරුමයක්ද? වදවේදනාව තුරන් වුණා. මරණයට පත් වීමේදී ශරීරය අප අත්හැර යෑමට, අපෙන් අතුරුදන් වන්නට පටන්ගත්තාම සිදු වෙන්නේත් මේකම තමයි. මේ හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න හැකි වෙනවා.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත් නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන, අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත ඔබ්බෙන් බබෙක් හඬන සද්දය, කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක් නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදු රජාණන් වහන්සේ පවා, උන් වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදන් වෙන්නේ නිමක් දකින්නේ ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත් වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදන් වන්නේ ශබ්දයයි.
භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත් මේ ඉන්ද්‍රීය අවදි කිරීමෙනුයි; ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩසටහනකට සහභාගි වූ කෙනෙක් භාවනා වැඩසටහන නිම කළ පසුත් ගැඹුරු භාවනාවේ ම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩි වී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්ලා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතා කර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදන් වන්නේ ශබ්දයයි.
මෙය තේරුම් ගත්තාම මරණයට පත් වීමේ ක්‍රියාවලියේදී කෙනෙකු මරණාසන්න මූර්ඡාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ළං වී ඇති බවත් දැනගත් විට මිය යමින් සිටින තැනැත්තාට කතා කරන්න. මක් නිසාද යත්: සියලු පස් ඉඳුරන්ගේ අවසානයට අතුරුදන් වන්නේ ඇසීම නිසා, මිය යන තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම, ස්පර්ශ කිරීමට, වඩා අවසාන වශයෙන් ශරීරයෙන් අතුරුදන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යන විට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදන් වන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරත වන ඔබ බොහෝ දෙනාට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත් වීමේදී සිදු වන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක්‍රම අනුව මේ සඳහා මෝෆීන් වැනි සිහි නැති කරන බෙහෙත් හොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුණාම ඇති වන දුක්වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව සිත් කරදර කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මෝෆීන් වැනි සිහි නැති කරන වේදනා සමනයන් භාවිත කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
ඒ මක් නිසාද කිව්වොත්: මරණය පිළිබඳ ක්‍රියාවලියේදී, ඔබේ සවන ඉන්ද්‍රිය වන මනස, සාමාන්‍යයෙන් ඔබේ මොළය පාවිච්චි කරනවා. මොළයේ ක්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදු වන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත් නම් සමහර විට අඩුවෙන් ඔබට පැහැදිලිකමක්, නැත් නම් නිර්මල බවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත් වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී මා ඇය සමග පැය දෙකක් පමණ කාලයක් ගත කළා; ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමග ගත කළ පැය දෙකක් පමණ කාලයේදී ඇය ර්ධදචඵබපර (වනඅරම, ආරණ්‍යය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ ‘පන්සල නැත් නම් ආරණ්‍යය’ කියූ වචනය කොහොමටවත් ගැළපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා හා ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්න වූවන්ට ඔවුන්ගේ අවසාන අවස්ථාවේදී යටපත් වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදි වෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා; නිරවුල් වෙනවා. හේතුව තමයි මනස, බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකි වෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක්‍රියාකාරී වෙනවා.
මා ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ, පතපොත කියවමින් සිටියදී, අවුරුදු සිය ගණනකට පෙර ජීවත් වූ තැනැත්තෙක් පිළිබඳ ටොල්ස්ටෝයි ලියූ හරි අමුතුම කතාවක් කියෙව්වා. මේ තැනැත්තා ජීවත් වුණේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවෙසකයි. මොහු බරපතළ ලෙස අසනීප වී වේදනාවෙන්, දවසේ පැය විසිහතරම, ළතෝනි දුන්නා; කෑමොරගැසුවා. ගෙදර අයට කරකියාගන්න දෙයක් නැතිව අවුලෙන් අවුලට පත් වුණා. ගෙදර කෙනෙක් මුළු දවස තිස්සේම වේදනාවෙන් කෑමොරගසමින් සිටියොත්, ඔබට කරකියාගන්න දෙයක් නැති වුණාම කොයිතරම් අසරණ වෙනවද කියන-එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ පවුල ගමේ පොහොසත් පවුලක්. ඒ හින්දා ලෙඩාට වෙදකම් කරන්න නොයෙකුත් ජාතියේ දොස්තර මහත්තුරු, ගමේ වෙද මහත්තුරු, හෝමියෝපති දොස්තරලා ගෙන්නුවා. ඒත් පලක් වුණේ නැහැ. මේ ලෙඩා විඳින වේදනාවෙන් එයා මුදාගන්න මේ කාටවත් බැරි වුණා. මේක මේ විදියට සති ගණනක් එක දිගටම සිදු වුණා. මේ කතාව අවසන් කරමින්, අන්තිමේදී ගෙදර තිබුණු කලබලය සමහන් වුණා කියා කතාකාරයා කියනවා. ඒත් ඒ ලෙඩාගේ මරණයෙන් නොවෙයි. මැරෙන්න විනාඩි 10ක් විතර තියා එයා හොඳ සිහියෙන්, බොහෝම නිරවුල් මනසින් සිටියා. බොහෝම තැන්පත්කමින් සිටි ඔහු ඊට පසුව මැරුණා. මේක කතාවක් වුණත් මෙය මරණාසන්න වූ බොහෝ දෙනාට පොදු දෙයක් විත්තිය හෙදියන්, වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව මරණාසන්න වූ බොහෝ දෙනෙකු ජීවිතයේ අවසාන මොහොතේ බොහෝම පැහැදිලි, නිරවුල් මනසින් සිටිනවා.
දැන් මම මේ පන්සලට එන කෙනෙකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමක් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තිය සමහර විට අදත් මෙතන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත් ඇයගේ සහෝදරියත් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදු වන තුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙළමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදු වෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මමද මේ විදිහට මරණාසන්නව සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි.
අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදු වුණා. ඔහු අන්තිම හුස්ම හෙළීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇති වූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා “තාත්තේ, අපි ඔයාට ආදරෙයි” කියා කිව්වා. ඉන් පසු ඔහු ඇස් දෙක පියාගත්තා. ඔහු මිය ගියා. මේ සිදු වූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන් නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
මේ සමඟ අපූරු සිද්ධියක් ‘ටයිම්’ සඟරාවේ මනස ගැන විස්තර වූ ලිපියක තිබුණා. මා හිතන්නේ මේ ‘ටයිම්’ සඟරාවේ පිටපතක් අපේ ආරාමයේ තිබෙනවා. මේක මනස, ශරීරයෙන් වෙන් වීම පිළිබඳ කදිම සිද්ධියක්. මේ සිද්ධියට අදාළ තැනැත්තා දරුණු මොළයේ ගෙඩියකින් පීඩා වින්දා. මේ සිද්ධිය විස්තර කරන්නේ එම රෝගියාට රෝහලේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා. මොළයේ ගෙඩිය බොහෝම උත්සන්න වී තිබුණු නිසා රෝගියා ලෙඩ ඇඳේ දවස් ගණනක් තිස්සේ සිහිමූර්ඡා වී සිටියා. මොළයේ හැදුණු ගෙඩිය නිසා මොළයෙන් විශාල කොටසක් අක්‍රිය වී තිබුණා; මැරී තිබුණා. ඒ නිසා කතා කිරීම වැනි මොළයෙන් සිදු වන උසස් ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම අතුරුදන් වී තිබුණා. මොළයේ ඉතිරි වී තිබුණු සුළු කොටස නිසා යාන්තමට පණනල අල්ලාගෙන සිටියා.
හුස්ම ඉහළට පහළට හෙළීම වැනි ශරීරයේ මූලික ක්‍රියාකාරකම් පමණක් යාන්තමින් සිදු වුණා. හිටිහැටියේම ඔහුට සිහිය ඇවිත් ඇස් හැර බැලුවා. ඒ විතරක් නොවෙයි. මිනිත්තු 15ක් විතර වේලාවක්, ඔහුගේ පවුලේ ඇත්තන් සමග කතාබහ කළා. විනාඩි 15කට විතර පස්සේ ඔහු සියලු දෙනාගෙන් සමුගෙන, අවසන් හුසම හෙළුවා. මේ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු විස්මයෙන් විස්මයට පත් වුණා. මක් නිසාද කිව්වොත්: මේ කියන වේලාව වන විට ඔහුගේ මුළු මොළයම මැරී අක්‍රියව තිබුණා; මොළයේ කිසිම දෙයක් ඉතුරු වී තිබුණේ නැහැ.
මහාචාර්ය ලෝමල් විසින් අනාවරණය කර ඇති සිද්ධියක් මම මීට පෙරත් කියා ඇති. මේ මහාචාර්යවරයාගේ විශ්වවිද්‍යාලයේ ගණිත විෂයය හැදෑරූ එක්තරා ශිෂ්‍යයෙකුගේ හිසෙහි අසාමාන්‍ය පෙනුමක් තිබුණු නිසා ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවාම ඔහුට මොළයක් නැති බව අනාවරණය වුණා. මුළු මොළයම අතුරුදන් වී තිබුණා. ඔහු ගණිතය ගෞරව උපාධිය හැදෑරූ උපාධි අපේක්ෂකයෙක්. පෙම්වතියක් ද සිටි සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙක්.
තමන්ට මොළයක් නැති බව ඔහු දැන සිටියේ නැහැ. මේක මේ විදිහට සිදු විය හැක්කේ කෙසේද? මා දන්නා තරමට ඒ විතරක් නොව, බුද්ධාගම පවසන විදිහට ඔබේ මනසට ඔබේ ශරීරයෙන් පිටතට වී ක්‍රියාකාරී විය හැකියි. ශරීරයෙන් වෙන් වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක්‍රියාකාරකම් ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක්‍රියාකාරි වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදු වන්නේ මෙන්න මේකයි; ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවකට, තවත් විදියකට කිව්වොත් නිර්මලතාවකට පත්වන හැටි මා දැක්කා.
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත් වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංගී‍්‍රසියෙන් සඳහන් කරන විදිහට ව්ඥචප ච්ඥචබඩ ඡ්යනඥපඪඥදජඥ ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත් වීමෙන් පසුව මනස ශරීරයෙන් වෙන් වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මෝටර් රථයක බාවා තිබියදී සිදු වන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත් වී, පසුව ප්‍රාණය ලැබ, ජීවත් වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදු වූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන් දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන් වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත් නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (ර්‍ථඪථ ඍචද ඹ්ධථථඥත) වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලළා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී, සිරුර මේසයක් මත හෝ වෙන යම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැරදමා ආ සිරුර දකිමින්, සිදු වන දේවලට ඇහුම්කන් දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.
ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්: ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා. ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා. මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.
ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා. “ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා.
මේ වගේ කථා අප්‍රමාණයි. ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. නැත් නම් මේ සමාන වෙනත් අයගේ අත්දැකීම් ඔබ අසා ඇති. මම මේ මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූවාම, දේශනය නිම වුණාට පසු තුන්හතර දෙනෙක් පැමිණ, “ඒ වගේ දේශනයක් කිරීම ගැන ඔබට බොහෝම ස්තුතියි. මේ වගේ අත්දැකීමක් මටත් තිබෙනවා” කියා කියනවා. “මමත් තාවකාලික මරණයට පත් වී මගේ සිරුරෙන් ඉවත් වුණා” යැයි ඔවුන් කියනවා.
.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර

අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි


Niwan magata ama dham=නිවන් මගට අමා දම්'s photo.
.
මොකක්‌ද මේ ඕරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාදරෑ ඕරා කියා හඳුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක්‌ වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්‌ මෙය ශක්‌ති ජනකයක්‌ (Energy Field) වශයෙනුත් හඳුන්වනවා.
.
සෑම ප්‍රාණියකු මෙන්ම වස්‌තුවක්‌ වටාද මෙම රශ්මි වළල්ල පිහිටා තිබෙනවා සාමාන්‍යයෙන් කෙනකුගේ ශරීරයේ සෙ. මී 30-40 ක ප්‍රමාණයක්‌ වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුළුවන්.
.
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූර වලද හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් පිහිටා තිබෙනු ඔබ දැක ඇති. එලෙස දක්‌වා තිබෙන්නේ මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක්‌. මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා. අද ඇමරිකාවේ සිටින එවන් අධි මානසිකත්වයක්‌ සහිත මේරි ට්‌ බ්‍රවුන් මහත්මිය මේ පිළිබද ඇගේ මරණින් පසු ජීවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්‌තර කර තිබෙනවා.
.
ඒ ඒ සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස්‌ වන හැටි මෙසේයි. ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකරු රෝස පැහැයක්‌ පෙන්වනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව දුඹුqරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්‌සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා. කෙනකුගේ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්‌ම වෙනස්‌වන්නට පුළුවන්.
.
අධි මානසික තත්වයක්‌ ඇති කෙනකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‌ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්වය සහ රෝගී තත්වයන් හඳුනාගත හැකිවෙනවා. කෙනකු මරණාසන්නවන විට ඔහුගේ රශ්මි වළල්ල ඉතා අඳුරු පැහැයක්‌ ගන්නවා එඩ්ගා කේසි යනු ලොව සුප්‍රසිද්ධ අධි මානසික තත්වයකින් හෙබි පුද්ගලයෙක්‌. ඔහු දිනක්‌ සෝපානයකට ගොඩවීමට යද්දී එහි ගමන් කරන්නන්ගේ රශ්මි වළල්ලෙහි අඳුරු පැහැයක්‌ දැක තිබෙනවා. ඒ නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදී වෙනත් සෝපානයකට ගොඩවැදී තිබෙනවා. ටික වේලාවකින් අර ඉහත කී සෝපානය කඩා වැටී එහි ගමන් කළ සියලු දෙනාම මරණයට පත්වී තිබෙනවා.
.
මියගිය පසු තණ්‌හාව ආශාව සහ බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන් ප්‍රේතයන්, භුතයන්, මළ යක්‌ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්‌ෂම සිරුරුයි එබැවින් ඔවුන් තම ශක්‌තිය ලබාගන්නේ මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්‌තියෙන්.
.
ඔබ පුවත්පත්වල පලවන පියවි ඇසින් ඔබ්බට මළවුන්ගේ හෝරාව වැනි ලිපි කියවා ඇත්නම් මෙම ආත්මයන් ගේ හැසිරීම ගැන දන්නවා ඇති. මොවුන් අපගේ සිරුරුවලට ඇතුළු වී හෝ අපගේ නිවෙස්‌ වල අරක්‌ ගෙන අප තුළ කෝපය වෛරය ඇබ්බැහිවීම ආදී සිතුවිලි ජනිත කර ඒ මගින් ඇති වන සෘණාත්මක ශක්‌තිය උරාගෙන ජීවත්වෙන්නට මාන බලනවා. මීට අමතරව මේ සමහර නිරිසතුන් මිනිසුන්ගේ ලේ සෙම් සොටු අසූචි වැනි අපද්‍රව්‍ය ද ආහාර වශයෙන් ගන්නවා. බොහෝ විට මිනිසුන් ඇබ්බැහි වීම්වලට යොමු කරන්නේ මෙවැනි බලවේගයි තදින් මත්පැනට මත්ද්‍රව්‍යවලට ආශාවෙන් මියගිය ආත්මයන් මත් පැන් මත්ද්‍රව්‍යවලට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා ඒ සඳහා ඔවුන් මිනිසුන්ගේ සිරුරු තුළට ඇතුල් වී ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍යවලට යොමුකර ඒ ආශාවන් සංසිඳවා ගන්නවා. ඒ වගේම දැඩි ලිංගික ඇසුර ප්‍රිය කළ මියගිය ආත්මයන් ද තම කාමාශාව සංසිඳවා ගැනීමට ද මිනිසුන්ගේ සිරුරට ඇතුළු වෙනවා.
.
අපගේ ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සමහර අවස්‌ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්‌තිය ද පිරිහුනු අවස්‌ථාවලයි. අප දැඩි කනස්‌සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්‌ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්‌ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක්‌ වූ අවස්‌ථාවල අපගේ සිරුරේ ශක්‌තිය රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට මේ නිරි සතුන් ට අපේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා. මෙය අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හඳුන්වනවා සමහරු මේ තත්වය මානසික රෝගයක්‌ කියලත් තවත් අය මතුරල දිපු දෙයක්‌ කැවිල කියලත්, තවත් සමහරු ප්‍රේත ජීවියෙක්‌ සිරුරට ඇතුල් වෙලා ඇති කියලත් හඳුන්වනවා.
.
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක්‌ තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක්‌ පමණක්‌ නොව ආත්ම කීපයක්‌ සිරුරට ඇතුල් වන්න පුළුවන්. මෙවන් අවස්‌ථාවන් "Dual Persanality” “multiply personalities" යනුවෙන් හඳුන්වනවා. එවිට කෙනෙක්‌ තුළ චරිත දෙකක්‌ හෝ කීපයක්‌ තිබෙන කෙනෙක්‌ වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වනවා. බොහෝවිට ශාන්ති කර්ම මගින් කරන්නේ එයයි.
.
මේ ආත්ම බොහොමයක්‌ ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන්. මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතුළුවීම ඉතා භයානක තත්වයක්‌. මොවුන් ඔබ බියපත් කිරීමෙන් ඔබව ඔවුන්ගේ පාලනයට නතු කරගන්නවා. අපේ සිරුරට ඇලී අපේ ශක්‌තිය උරාගන ජීවත් වෙන්නට පටන් ගන්නවා. එවිට ඔබ රෝගී වන්න පුළුවන් අයහපත් දේ කිරීමට ඔවුන් ඔබව පොළොඔවන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්‌ථාවල මොවුන් තමන්ගේම ඥාතීන්ගෙන් පළිගැනීමට ඔවුන්ගේ සිරුරුවලට ඇතුල් වෙනවා මෙයත් ඉතා භයානක තත්වයක්‌ ඔවුන්ට හැකියාව තිබෙනවා ඔබේ ජීවිත පවා අනතුරට ලක්‌ කිරීමට විශේෂයෙන්ම හදිසි අනතුරුවලට ලක්‌කිරීමට කට්‌ටඩියන් කපුවන් වැනි අය මන්ත්‍ර බලයෙන් මෙම ආත්ම බැඳගෙන ඔවුන්ගෙන් නොයෙක්‌ අහිතකර දේවල් කරගන්නවා. ඒ මගින් සමහර අවස්‌ථාවල ජීවිත විනාශයන් පවා සිදුකරවනවා.
.
මෙවැනි ආත්මයන් සමහර අයට ආවේස වෙලා දෙවිවරුන්ගේ නම් විකුණමින් ශාස්‌තර කියන්න පටන් ගන්නවා .මෙහිදී මොවුන්ට ස්‌ථාන ගේ දොර ඉඩකඩම් ගැන හුඟක්‌ දුරට හරියට කියන්න පුළුවන් මොකද මොවුන්ට සෑම තැනම සැරිසැරීමේ හැකියාව ඇති නිසා ඒ වගේම බොරු කියල මුලා කරන්නත් පුළුවන්. එවිට අප සමහර විට ශාස්‌තර කියන අයට දොස්‌ කිව්වත් ඔවුන් කියන්නේ මොවුන් කියන එකයි. සමහර විට ස්‌වාමීන් වහන්සේලාට පූජකවරුන් වැනි අධ්‍යාත්මික කටයුතුවල යෙදෙන්නන් පවා නොමඟ හැරීමට මෙම ආත්මයන්ට හැකිවනවා. කලාතුරකින් සුභවාදී ආත්මයන් ද තිබෙනවා. ඔවුන් තමන්ගේ ඥාතීන් ආරක්‌ෂා කරනවා. ඒ වගේම තරමක්‌ දුරට සත්‍ය දේ ප්‍රකාශ කළ හැකි වනවා.
.
ඔබ දැක ඇති සමහර අවස්‌ථාවල පුද්ගලයන් සිතා ගන්න බැරි විදිහට හැසිරෙනවා. නැත්නම් කිසිවකු විසින් මෙහෙයවන ආකාරයක්‌ ඔහුගේ හැසිරීම් රටාවේ දක්‌නට ලැබෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා එපමණක්‌ නොවේ. ඔබට දැඩි තෙහෙට්‌ටුවක්‌ වෙහෙසක්‌ බියක්‌ කම්මැලිකමක්‌ දැනෙනවා නම් ඔබට කිසිදා නොවුණ ලෙස පාලනය කළ නොහැකි කෝපයක්‌ හටගන්නවා නම්, මුළු දවසම නිදාගන්නවා නම්, හදිසියේම ඔබ කෑමට ඉතා ගිජුකමක්‌ දක්‌වනවා නම්, තවත් විටක ඔබ නිදා සිටින විටකදී කෙනෙක්‌ ඔබව තල්ලු කරගෙන සිටින බවක්‌ දැනෙනවා නම් ඔබට කෑ ගැසීමට අවශ්‍යය වුණත් වචන පිටනොවනෙ බවක්‌ හැඟෙනවා නම් හෝ තමන් තුළම කෙනෙක්‌ තමන් අමතනවා වැනි ශබ්ද ඇසෙනවා නම් සතුන්ට දැඩි ලෙස හිංසා පීඩා කරන්නට සිතේ නම් ඉතා පිරිසිදුව සිටි කෙනෙක්‌ අපිරිසිදුව සිටින්නට පටන් ගන්නවා නම් මේ ලක්‌ෂණ ඔබගේ ඕරාවට ආත්මයක්‌ නැතහොත් නිරි සතෙක්‌ ඇතුළු වී ඇති බවට සඥාවක්‌ වන්නට පුළුවන්.
.
මේ පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස්‌ පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය බරවයට පිටිකර බේත් බැඳීම වැනි ක්‍රියාවක්‌. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්‌ථා අද සමාජයේ බොහෝ දුරට දක්‌නට ලැබෙනවා. බුදු දහම අනුව පමණක්‌ නොව කිතු දහම හින්දු දහම සහ මුස්‌ලිම් දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා.
.
බටහිර රටවල මෙවැනි දේ හඳුන්වන්නේ (Auric Cleaning) නැත්නම් රශ්මි වළල්ල ශෝදනය කිරීමක්‌ වශයෙන්. මේ සඳහා ඔවුන් අධි මානසික ශක්‌තින්වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. තවද ලුණු වතුරෙන් නෑම විශේෂයෙන්ම මුහුදේ නෑම නිවෙස්‌වලට ලුනු ඉසීම සේ- නම් කොළ වර්ගයෙන් දුම් ඇල්ලීම පෙන්ඩුලම් වැනි මෙවලම් භාවිතා කිරීම වැනි දෑ කරනවා. ඒවා අප විසින් නිවසේ සුවද දුම් ඇල්ලීම කහ දියර ඉසීම වැනි දේට සම කළ හැකිය.
.
හිරු එළිය මේ ආත්මයන්ට අවහිර කරනවා එබැවින් අපේ නිවෙස්‌වල ජනෙල් දොරවල් හොඳින් විවෘත කර හිරු එළිය වැටීමට සැලැස්‌වීම ඉතා වැදගත් වෙනවා අපිරිසිදුකම මේ ආත්මයන් ආකර්ශනය කරනවා. විශේෂයෙන්ම ආහාර පාන පිළුණු වන තුරු නිවෙස්‌ තුළ තිබීම මළගිය අයගේ පින්තුර බොනික්‌කන් වැනි දෑ මේ ආත්මයන් ආකරෂණය කරනවා
.
අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්‌තිමත්ව තබාගැනීමට අප උනන්දු විය යුතු වනවා. එය අපට කළ හැක්‌කේ කණස්‌සල්ල ඉරිසියාව, බය, වෛරය වැනි සෘනාත්මක සිතුවිලවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවලි අප සිත් තුළ ජනිත කිරීමයි අනෙක අප හොඳින් විඳ දරා ගැනීමේ ශක්‌තිය ප්‍රගුණ කළ යුතු වෙනවා. නිදසුනක්‌ වශයෙන් තමන් හුඟක්‌ ආදරය කළ කෙනකුගේ වෙන්වීම සිතට දැඩි ශෝකයක්‌ වේදනාවක්‌ ඇති කරනවා. මෙවැනි අවස්‌ථාවල අප ජීවිතය පිළිබද කලකිරෙනවා. දිවි නසා ගන්න පවා සිතෙනවා එවිට අපේ ඕරා රැස්‌ වළල්ලේ තාවකාලික සිදුරු වෙනුවට ස්‌Aථිර සිදුරු හටගන්නවා . එවිට ඇතුළු වන පහත් ආත්මයන් පලවා හැරීම තරමක්‌ අසිරු වෙනවා.
.
අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරුණු ආතතියෙන් තොර ශක්‌තිමත් මානසික තත්වයෙන් යුතු දිවියක්‌ ගත කිරීමෙන් අපගේ ඕරා ශක්‌තිය වර්ධනය වෙනවා. එවිට මෙම ආත්මයන්ට අපගේ සිරුරට ඇතුල් වීමේ හැකියාව නැතිවනවා එවිට අපට නිරෝගිමත් මෙන්ම සැනසිලිදායක ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන් වෙනවා.
.
(අන්තර්ජාලය සහ “The five rules of though´” by Mary T Brown ඇසුරිනි)
.
ශ්‍රියානි ද සේරම්

෴සුනීතගේ පූර්ව කර්මය෴ සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)

෴සුනීතගේ පූර්ව කර්මය෴

මෙතුමා පෙර එක් ජීවිතයකදී දගකාර කුඩා ළමයෙකුව සිටියදී දිනක් පසේ බුදු කෙනෙකු දැක ,මොකද ඔබ වහන්සේ තුවාල කාරයෙක් වගේ මුළු සිරුරම පොරවාගෙන පිණ්ඩපාතේ යන්නේ ? මොකද ඔබ
වහන්සේට බැරිද කෘෂිකර්ම ආදී රැකියාවක් කොට ජීවත් වෙන්න? ඉදින් මොනවත් බැරිනම් අනුන්ගේ වැසිකිළිවල අසූචිවත් ඇද ජීවත් වෙන එකනේ තියන්නේ කියා කියන ලදී මෙහි විපාක වශයෙන්
නිරයේ බොහෝ කාලයක් පැසී පසුව බොහෝ ආත්ම සිය ගණනක් අනුන්ගේ වැසිකිළිවල අසූචි අදින පුද්ගලයෙකුව ජීවත් වන්නට සිදුවුනා ,,,,අප බුදු සසුන කාලයේ ද රජගහ නුවර අනුන්ගේ වැසිකිළි පිරිසිදු කරන
අසරණයෙක් වී ඉපදුණා මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මාහා කරුණා දැලට හසුවී පෙරකරන ලද පාරමී ඇති මෙතුමා පැවදි කල අතර නොබෝකලකින් විදසුන් වඩා රහත් වුණා
බලන්න පිංවතුනි පවක මහිම ,සිල්වත් ගුණවත් පැවදි උතුමන් වහන්සේලාට දැන හෝ නොදැන කරන ලද සුළු වූ වරදකින් පවා ලැබෙන විපාකය ,ඒ කරන ලද සුළු දෙයට සාපේක්ෂව අනන්තය.හිතා ගත නොහැකි තරම් දුක් විපාක ව්දීමට සිදුවේ.
මේ දගකාර ළමයා තමන් කරන මේ කියන අපහාසාත්මක වදන් තමන්ට මෙපමණ විපතක් කරන්නේය යැයි නොසිතන්නට ඇත ,,එහෙත් ඔහු එහි විපාක වශයෙන් බොහෝ දුක්වලට ගොදුරුව ගියේය.
ඔබත් මේ කරුණු නුවණින් සලකා බලන්න සිල්වත් ගුණවත් පැවදි උතුමන් වහන්සේලාට කියන ලද අපහාසාත්මක වදන කින් උවද බොහෝ දුකකට ගොදුරුවන බව මෙයින් පැහැදිලිවේ.
තෙරුවන් සරණයි
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)

Sunday, June 7, 2015

ඉතා පැරැණි සිංහල බණ කතා


භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව
අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. (2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත්දෙනෙක් ද එක් දුවක්දැයි දරුවෝ අට දෙනෙක් වුහ. (3) දුක්භික්භයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝද අඳුනන්නෝ ද පරලොව ගියහ. (4) ගෝපනය කළ සිතැති පි‍්‍රයශීලී වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී. (5) ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍රහ කෙළේය. කාලවිපත්තිය නිසා රෝග - දුර්භික්ෂාදී භය තුනක් හටගත් විට සැටයොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය.
(7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. (8) යටකී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහවනයට පිවිසියහ. (9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමු ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමුකොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.
(1) මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. (12) දික් වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වු සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු පේ‍්‍රතයන් මෙන් භයානකව පෙනුණාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ පේ‍්‍රතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රයද බිම දමා දිව්වේය. (15) ඔවුහු ඒ වස්ත්‍රය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය” යි කියා සිය සොහොයුරියට දුන්හ. (16) ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය. (17)
තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි. (18) එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිටවී ගොස් පඳුරු අතරෙහි සැඟවි සිටියාය. (19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කෙළේය. (20) “වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය. (21) පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුය. ආශ්‍රවක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි” යි (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇතිබව දැක බවුන් වඩා රහත් විය.
(23) සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥවූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “ නැගණියෙනි, කුමකට භය වුවාද ? සැඟවුණේ කුමකට දැ”යි ඇසූහ. (27) ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය. (28) එයසා සතුටු සිතැති ඒ සියලුදෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. (30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති.
(31) එවිට සතුටට පත් සොහොයුරෝ “එය කවුරුන් දෙන ලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. (32) “තෙරුන්ට වස්ත්‍රය දී මම බියපත්ව නිදා ගත්තෙමි. දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ”යි ඕ කීය. (33) “සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමූද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හී (35) මෙසේ දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරිකොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.
(36) මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය. (37) තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා “ඉදින් මේ ගෙයි කැඳ බත් ආදී යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාලදානයක් දෙන්නෙමි” යි කීය. (39) “සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ” යි තරුණිය කීය. (40) පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබාගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය. (42) ඒ භික්ෂාව පිළිත් වැඩූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳන්ට පෙරම උත්සාහ කොට රහත් බවට පත් විය.
(43) ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකාර දුණි. (44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා “දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද ? කවරෙකුට ප්‍රශංසා කෙරෙහිද ?” යි විචාළේය. (45) “මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි. (46) ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය. (47) ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුªටු වූ මම ඒ දෙනට සාධුකාර දුනිමි” යි දේවතාවා කීය.
(48) එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා “ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව“ යි නියම කොට යැවීය. (48) ඒ මිනිසා වහාගොස් ඒ තරුණයා ;සායාගෙන ආවේය, රජතෙම ඔහු දැක: (50) තිස්ස, තෝ කළ පිනැත්තෙහි, මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව“ යි කීය. (52) ඔහුට සතුටු වූ මහරජ ඇත්අස්රිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.
(53) මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දිනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට පැමිණියේය. (54) අර කී කැලේ විසු සොහොයුරෝ සත්දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. (55) එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමතිතෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව (56) “සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව්” යයි කීය. (57) සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.
(58) මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ. (59) ඒ දෙදෙන මහසෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍රවලින් කොඩි සාදා නැංවූහ.
(60) මෙසේ ඔවුහු ත්‍රිවිධරත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැරදමා දිව්‍ය ශරීර ලබාගත්හ. (61) එබැවින් රත්නත්‍රය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේ

ගල් ප්‍රේතයාගේ කථාව

බෞද්ධයා - The Buddhist's photo.
මෙසේ අසන්ට ලැබේ: හෙළදිව රුහුණු දනව්වෙහි සැටක් පමණ භික්ෂූහූ මහබෝ වැඳීම පිණිස උත්තරා පථයට (1) ගියාහු ය. ඔවුහු ක්‍රමයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාවේරිපටුනෙහි බැස ක්‍රමයෙන් යන්නාහු මහවනයට (2) ඇතුල් වූහ.
එහිදී මාර්ගය සොයා ගත නොහැකිව ඇවිදිනාහු ඇතුන් ගිය මඟක් දැක එය මගයයි සිතා එයට බැස තෙදිනක් ගමන් කොට මහත් ගලක් වැනි වූ ක්‍රෝශයක් (3) පමණ දිගැති ප්‍රේතයකු දැක ගලකැයි සිතා එහි නැග හොත්තාහ.
රාත්‍රියෙහි මහ තෙරනම නැඟිට සක්මන් කරන්නේ අත් – පා - හිස යන මේවායේ සටහන් දැක ‘මේ ප්‍රේතයෙක, ගලක් නොවේය’ යි දැන ඒ භික්ෂූන් අමතා ‘ඇවැත්නි, බසිව්, මේ ප්‍රේතයෙකි, ගලක් නොවේය’ යි කීය. ඔවුන් බිමට බැස්ස විට ප්‍රේතයා හිස එසවීය. එය දැක තෙරනම මෙසේ විචාළේය: ගලක් වැනි වූ තාගේ ශරීරය එක් ක්‍රෝශයක් පමණ ඇත. සිටීමක් හෝ ඇවිදීමක් නැත.
තා විසින් කුමන කර්මයක් කරන ලද්දේද ? ප්‍රේතයා මෙසේ කියයි: ස්වාමීනී, මම ප්‍රේතයෙක් වෙමි. පෙර කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක් වී සංඝයා අයත් දේ විනාශ කෙළෙමි. දුෂ්ට අදහස් ඇති ඒ මම ආරාම කෙත් – වත් ආදිය ද ධනධාන්‍යාදිය ද විනාශ කෙළෙමි. ඒ නිසා මම මෙ වැනි බලවත් කටුක දුක් විඳ පසුව අවීචියට යන්නෙමි. මහ තෙරනම ‘තෝ සාංඝික දේ විනාශ කෙළේ කොයි ආකාරයෙන්දැ’යි විචාලේය.
කාශ්‍යප ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි මම නෑයන් සමග සංඝසන්තක කුඹුරු වලින් ධාන්‍ය රැගෙන කෑවෙමි. දූ දරුවෝද නෑයෝ ද දාසකම්කරුවෝ ද එකතුව ඒවා අනුභව කෙළෙමු. මම දැන් තනිවම දුක් විඳිමි. මා කළ බැරෑරුම් කර්මය දැඩිසේ මා දවයි. ස්වාමිවරුනි, මම පිපාසාවෙන් පෙළෙමි; මාගේ මුඛයෙහි පැන්වත්කළ මැනවැයි ප්‍රේතයා කීය. එවිට සැටක් පමණ භික්ෂූහු ගඟට බැස පාත්‍ර වලින් පැන් ගෙනවුත් ඔහුගේ කටේ වත් කළ නමුත් ප්‍රේතයාගේ දිවවත් නොතෙමුණි.
තෙර නම ඔහුගෙන් ‘කිසි අස්වැසීමක් ලද්දේදැ’යි ඇසී , ‘ඉඳින් දහස්නමක් භික්ෂූන් සත්දිනක් මාගේ මුඛයෙහි පැන් වත් කළත් මාගේ දිව අගත් නොතෙමේ; බොටුව ඉක්මවා යාම කෙසේ නම් සිදු විය හැකිද ? සංඝ සන්තක දෙය විනාශ කිරීමෙහි මෙවැනි කටුක විපාක ඇත. මෙය සැපයක් යයි සිතා මා විසින් දුකට හේතුවන දෙයක් කරන ලදී. මා කළ දෙයම මට විපාක දෙයි. එය විපාක දෙන කල්හි පිහිටක් විද්‍යාමාන නොවේ. ඉදින් ඔබ වහන්සේලා වත්කළ දිය මාගේ බොටුවෙන් පහළට ගියේ නම් මේ ප්‍රේතාත්මයෙන් නොමිදෙම්වා’ යි දෙස් කියා ‘ආයුෂ්මත්වරු කවරහුද ? කාගේ ශ්‍රාවකයෝ දැ’යි විචාළේය.
ශාක්‍යරාජ කුලයෙහි උපන් ගෞතම බුදු රජ අපගේ ශාස්තෘවරයාය. අපි උන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීය. ඉදින් ලෝකනායක වූ ගෞතම බුදු රජ උපන්නේ නම් සත්දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. කාශ්‍යප ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව හත් ගව්වක් වැඩුණේය. ප්‍රේතලෝකයෙහි දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය.
දැන් අවීචියට ගොස් ඉතිරිව තිබෙන ඒ කර්ම විපාකය වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. සංඝයා සතු දෙය වැනසීම මෙසේ දොස් එළවන්නක් වේ. යම් කෙනෙක් ඒ දෙය රකිත් නම් ඔවුන්ට පින්ඵල ලැබෙන්නක් ද වේ. දැන් ඔබ වහන්සේලා වඩිනු මැනවි. මාගේ ශරීරය ගිනිදැල් වෙලා ගනිත්.
මා දැක බුදු සස්නෙහි අප්‍රමාදී වෙත්වා.ලෝකයෙහි දුර්ලභ වූ උතුම් ක්‍ෂණ සම්පත්තිය ලැබ එය අත්හැරී යන්ට ඉඩ නොදෙනු මැනවි. බුදු සස්නෙහි යෙදෙනු මැනවි.කල් ඇතිවම එහි යෙදී දුක් කෙළවර කරනු මැනවි.
සැප නැති දුගතියට ගොස් මා මෙන් ශෝක නොකරව්’ යයි ප්‍රේතයා කීය. සඟ සතු දේ විනාශ කිරීමෙහි මේ දෝෂයන් දැක ධර්මප්‍රීති ඇති භික්ෂූන්ට මහත් සංවේගයක් ඇති විය. ඒ භික්ෂූන් ඉවත් වූ කල්හි ප්‍රේතයාගේ ශරීරයෙන් මහ ගිනිකඳක් නැංගේය. ඔවුහු ඒ ගින්නේ එළියෙන් එදා රෑ ගව් එකහමාරක් ගමන් කළහ. යන්නා වූ ඒ භික්ෂූහු ප්‍රේතයාගේ කීම සිහි කරමින් සංවේගයට පත් සිතැත්තෝ මාර්ගඵල ලාභී වූහ.
.
............
පැහැදිලි කිරීම
1. උතුරු ඉන්දියාවයි.
2. වින්ධ්‍යා මහ වනය විය හැක.
3. බඹ පන්සියයක දුර ක්‍රෝශයකි.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

උපකාර කළ හැකි අයෙකුගේ අවධානයට ලක් වීම පිණිස

පලාගල දඹුලු හල්මිල්ලව හිගුරුවෙල්පිටිය. ඩි .පොඩි මැණිකා (69) හා ප්‍රියල් ධර්මකිර්තිරත්න (74) යුවළ තම මිනිය තියාගන්නට කාමරයක් හදාගන්නට වෙහෙසෙති .කාන්තාව නිවෙස් වල වලන් පිගන් සෝදා දර පළා වසර 16ක සිට තම දෑස අන්ධ සැමියාව ජිවත් කරවන්නීය .
මේ දෙපළ අදටද එකිනෙකාට දැඩි ආදරයක් දක්වති .දරුවන් තිදෙනකු හැදු මොවුහු ඉටි රෙදි ගැසු කටුමැටි බිත්ති ඇති නිවසක තනිව ජිවත් වෙති . කළුගල් කඩා දරුවන් හැදු පියා ඇස් අන්ද වී ඇත්තේ ගල්බෝරයක් පුපුරා යාමෙනි .බිරිය හැකි අයුරින් යාන්තම් පෙනුම ගන්නට කණ්නාඩි දෙකක් සපයා දී ඇත.කුඩා නිවසක් හදා ගන්නට අවැසි බොහෝ අමුද්‍රව්‍ය ඇය සපයාගෙන ඇතත් නිවාස තනා ගැනීමට නොහැකි බව කියයි .දරුවන් පිළිබදව කතා කිරීමට අකමැති මේ යුවළ මියයන තුරු එකට සිටීමට කැමැත්ත පළකර සිටිති .
එම මව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 0719125056 අංකයට කතා කළ හැකියි. ඇයගේ බැංකු ගිණුම 301-2-001-0-0011443 මහජන බැංකුව ගල්කිරියාගම ශාඛාව