Sunday, June 7, 2015

ගල් ප්‍රේතයාගේ කථාව

බෞද්ධයා - The Buddhist's photo.
මෙසේ අසන්ට ලැබේ: හෙළදිව රුහුණු දනව්වෙහි සැටක් පමණ භික්ෂූහූ මහබෝ වැඳීම පිණිස උත්තරා පථයට (1) ගියාහු ය. ඔවුහු ක්‍රමයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාවේරිපටුනෙහි බැස ක්‍රමයෙන් යන්නාහු මහවනයට (2) ඇතුල් වූහ.
එහිදී මාර්ගය සොයා ගත නොහැකිව ඇවිදිනාහු ඇතුන් ගිය මඟක් දැක එය මගයයි සිතා එයට බැස තෙදිනක් ගමන් කොට මහත් ගලක් වැනි වූ ක්‍රෝශයක් (3) පමණ දිගැති ප්‍රේතයකු දැක ගලකැයි සිතා එහි නැග හොත්තාහ.
රාත්‍රියෙහි මහ තෙරනම නැඟිට සක්මන් කරන්නේ අත් – පා - හිස යන මේවායේ සටහන් දැක ‘මේ ප්‍රේතයෙක, ගලක් නොවේය’ යි දැන ඒ භික්ෂූන් අමතා ‘ඇවැත්නි, බසිව්, මේ ප්‍රේතයෙකි, ගලක් නොවේය’ යි කීය. ඔවුන් බිමට බැස්ස විට ප්‍රේතයා හිස එසවීය. එය දැක තෙරනම මෙසේ විචාළේය: ගලක් වැනි වූ තාගේ ශරීරය එක් ක්‍රෝශයක් පමණ ඇත. සිටීමක් හෝ ඇවිදීමක් නැත.
තා විසින් කුමන කර්මයක් කරන ලද්දේද ? ප්‍රේතයා මෙසේ කියයි: ස්වාමීනී, මම ප්‍රේතයෙක් වෙමි. පෙර කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක් වී සංඝයා අයත් දේ විනාශ කෙළෙමි. දුෂ්ට අදහස් ඇති ඒ මම ආරාම කෙත් – වත් ආදිය ද ධනධාන්‍යාදිය ද විනාශ කෙළෙමි. ඒ නිසා මම මෙ වැනි බලවත් කටුක දුක් විඳ පසුව අවීචියට යන්නෙමි. මහ තෙරනම ‘තෝ සාංඝික දේ විනාශ කෙළේ කොයි ආකාරයෙන්දැ’යි විචාලේය.
කාශ්‍යප ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි මම නෑයන් සමග සංඝසන්තක කුඹුරු වලින් ධාන්‍ය රැගෙන කෑවෙමි. දූ දරුවෝද නෑයෝ ද දාසකම්කරුවෝ ද එකතුව ඒවා අනුභව කෙළෙමු. මම දැන් තනිවම දුක් විඳිමි. මා කළ බැරෑරුම් කර්මය දැඩිසේ මා දවයි. ස්වාමිවරුනි, මම පිපාසාවෙන් පෙළෙමි; මාගේ මුඛයෙහි පැන්වත්කළ මැනවැයි ප්‍රේතයා කීය. එවිට සැටක් පමණ භික්ෂූහු ගඟට බැස පාත්‍ර වලින් පැන් ගෙනවුත් ඔහුගේ කටේ වත් කළ නමුත් ප්‍රේතයාගේ දිවවත් නොතෙමුණි.
තෙර නම ඔහුගෙන් ‘කිසි අස්වැසීමක් ලද්දේදැ’යි ඇසී , ‘ඉඳින් දහස්නමක් භික්ෂූන් සත්දිනක් මාගේ මුඛයෙහි පැන් වත් කළත් මාගේ දිව අගත් නොතෙමේ; බොටුව ඉක්මවා යාම කෙසේ නම් සිදු විය හැකිද ? සංඝ සන්තක දෙය විනාශ කිරීමෙහි මෙවැනි කටුක විපාක ඇත. මෙය සැපයක් යයි සිතා මා විසින් දුකට හේතුවන දෙයක් කරන ලදී. මා කළ දෙයම මට විපාක දෙයි. එය විපාක දෙන කල්හි පිහිටක් විද්‍යාමාන නොවේ. ඉදින් ඔබ වහන්සේලා වත්කළ දිය මාගේ බොටුවෙන් පහළට ගියේ නම් මේ ප්‍රේතාත්මයෙන් නොමිදෙම්වා’ යි දෙස් කියා ‘ආයුෂ්මත්වරු කවරහුද ? කාගේ ශ්‍රාවකයෝ දැ’යි විචාළේය.
ශාක්‍යරාජ කුලයෙහි උපන් ගෞතම බුදු රජ අපගේ ශාස්තෘවරයාය. අපි උන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීය. ඉදින් ලෝකනායක වූ ගෞතම බුදු රජ උපන්නේ නම් සත්දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. කාශ්‍යප ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව හත් ගව්වක් වැඩුණේය. ප්‍රේතලෝකයෙහි දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය.
දැන් අවීචියට ගොස් ඉතිරිව තිබෙන ඒ කර්ම විපාකය වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. සංඝයා සතු දෙය වැනසීම මෙසේ දොස් එළවන්නක් වේ. යම් කෙනෙක් ඒ දෙය රකිත් නම් ඔවුන්ට පින්ඵල ලැබෙන්නක් ද වේ. දැන් ඔබ වහන්සේලා වඩිනු මැනවි. මාගේ ශරීරය ගිනිදැල් වෙලා ගනිත්.
මා දැක බුදු සස්නෙහි අප්‍රමාදී වෙත්වා.ලෝකයෙහි දුර්ලභ වූ උතුම් ක්‍ෂණ සම්පත්තිය ලැබ එය අත්හැරී යන්ට ඉඩ නොදෙනු මැනවි. බුදු සස්නෙහි යෙදෙනු මැනවි.කල් ඇතිවම එහි යෙදී දුක් කෙළවර කරනු මැනවි.
සැප නැති දුගතියට ගොස් මා මෙන් ශෝක නොකරව්’ යයි ප්‍රේතයා කීය. සඟ සතු දේ විනාශ කිරීමෙහි මේ දෝෂයන් දැක ධර්මප්‍රීති ඇති භික්ෂූන්ට මහත් සංවේගයක් ඇති විය. ඒ භික්ෂූන් ඉවත් වූ කල්හි ප්‍රේතයාගේ ශරීරයෙන් මහ ගිනිකඳක් නැංගේය. ඔවුහු ඒ ගින්නේ එළියෙන් එදා රෑ ගව් එකහමාරක් ගමන් කළහ. යන්නා වූ ඒ භික්ෂූහු ප්‍රේතයාගේ කීම සිහි කරමින් සංවේගයට පත් සිතැත්තෝ මාර්ගඵල ලාභී වූහ.
.
............
පැහැදිලි කිරීම
1. උතුරු ඉන්දියාවයි.
2. වින්ධ්‍යා මහ වනය විය හැක.
3. බඹ පන්සියයක දුර ක්‍රෝශයකි.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

No comments:

Post a Comment