Monday, October 20, 2014

අපණ්ණක ජාතකය

අපණ්ණක ජාතකය
අපණ්ණක ජාතකය ජාතක පොතෙහි එන පළමුවන කථාවයි. තැනට සුදුසු පරිදි නුවණ මෙහෙයවා, දූරදර්ශී ව කටයුතු කිරීමෙන් අත්වන යහපතත්, එසේ නොවී අනුවණ බවින් හා පටු දැක්මෙන් යුතුව, අදුරදර්ශීව කටයුතු කිරීමෙන් සිදුවන විපතත් මේ කථාවෙන් ඉස්මතු කෙරෙයි.එක හා සමාන බැරෑරුම් අවස්ථා දෙකකට මුහුණ දෙන වෙළෙන්දෝ දෙදෙනෙක් මේ කථාවේදී අපට හමුවෙති. සාත්තුනායක කුලයක උපන් බෝසත් වෙළෙන්ඳාගේ චරිතය එයින් ප‍්‍රමුඛ වෙයි. එතුමා පන්සියයක් ගැල් පුරා බඩු රැගෙන වෙළෙඳාමෙහි යෙදෙන සාත්තු නායකයෙකි. සුපුරුදු ලෙස වෙළෙඳාමේ යාමට සැරසෙන බෝසත්තුමාට නගරයේ වෙනත් සාත්තු නායකයකුද මෙපරිද්දෙන් ම ගැල් පන්සීයක බඩු පටවා වෙළෙඳාම සඳහා පිටත්වීමට සූදානම් වන බව සැලවෙයි.ගැල් දහසක් එකවර එක මඟ ගමනෙහි යෙදීම විවිධ දුෂ්කරතා ඇති කරවන්නකි. ඒ පිළිබඳ බෝසත් වෙළෙන්දා සිතන අයුරු මෙසේ යි.“ගැල් දහසක් එක මඟ යන්ට පටන් ගත් කල මඟ නොසෑහෙන්නේ ය. මනුෂ්‍යයන්ට දර පැන් හා සරක්ට තණ නොලැබ්බ හැක්කේ”ය.
මෙයින් පෙනෙන්නේ ඔහු වෙළෙඳාමෙන් තමන්ට සිදුවන ලාභාලාභවලට වඩා තමා සමඟ ගමන් ගන්නා මිනිසුන්ගේ් හා සතුන්ගේ ආහාර පාන හා සුවපහසුව ගැන සිතන මානුෂික ගුණයෙන් හෙබි කෙනෙකු බවයි.බෝසත් වෙළෙඳ නායකයා අනෙක් වෙළෙඳ පුත‍්‍රයා තමා වෙත කැඳවා පෙරාතුව හෝ පසුව යන්නට ඔහුගේ කැමැත්ත විමසයි. දෙවැන්නා කැමැති වන්නේ පළමු කොට වෙළෙඳාමෙහි යෙදෙන්නට ය. ඒ ඔහු සිතන පරිදි පහත දැක්වෙන ප‍්‍රයෝජන සලකාගෙන ය.“ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ ප‍්‍රයෝජන වන්නේ ය. ගැල් සකින් නුබුන් මඟින් යෙමින් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තණ කති. මනුෂ්‍යන්ට පළමු කිසි කෙනෙකුන් විසින් නොකෑඩු පලා කොළ වන්නේය. ප‍්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබාගෙන බඩු විකුණමි”මේ සිතුවිලිවලින් ගම්‍ය වනුයේ ඔහු හුදු ආත්ම ලාභය පිණිසම කටයුතු කරන්නකු බවයි. “කැමති පරිද්දෙන් අගය තබාගෙන බඩු විකුණමි” යන්නෙන් ඒ බැව් වඩාත් ප‍්‍රකට කෙරේ. දෙවනුව වෙළෙඳාමේ ගිය කල බඩු විකිණීමට සිදුවන්නේ මුලින් තැබූ මිලට හෝ ඊට අඩු මිලකට ය.පසුව වෙළෙඳාමේ යාමෙන් අත්වන අනුසස් ගැන මෙනෙහි කරන බෝසත් වෙළෙන්දා ගේ සිතැඟිවලට අනුව ඉදිරියෙමි යන්නවුන් නිසා මඟ විසම තැන් සම වෙයි. මුලින් ගිය ගවයන් මේරු තණ කෑමෙන් පසු නැඟෙන ළා තණ තම ගොනුන්ට ලද හැකිය. මුලින් ගිය මිනිසුන් පලා කොළ කැඩූ තැන්වලින් නැඟන දළු පලා තම මිනිසුන්ට අනුභව කළ හැකිය. මුලින් ගිය අය කැණ වූ වළවලින් පැන් බීමට හැකිය. අලුතින් ළිං කැණීම අවශ්‍ය නොවේ. කලින් ගිය වෙළෙඳුන් තැබූ අගයට භාණ්ඩද විකිණිය හැකි ය.මේ චින්තනය කිසිවකුට හානිදායි නොවන අහිංසාවාදී වූවකි.සිය අභිමතය පරිදි මුලින් ගමනේ යෙදෙන අනුවණ වෙළෙන්ඳා ඇතුළු පිරිස ගැල් යොදාගෙන නගරයෙන් නික්ම මනුෂ්‍ය වාසය ඉක්මවා කාන්තාර පෙදෙසට පැමිණෙති. එහි දී ඇඹුල උපල මල් පැළද නෙත් ඉස කේ හා පිළී ඇති ව මඩ වැකී ගිය රියක නැඟී පෙර මඟට එන මායාකාර අමනුෂ්‍යයන්ගේ ප‍්‍රයෝගකාරී බසට රැවටෙන ඔවුහු මෙපමණ දුරක් ගෙන ආ පැන් සැළවල් බිඳුවා සියලු පැන් මඟ හලා යති. රුදුරු මරු කතරෙහි පැන් නොමැතිව විඩාවට පත්වන මිනිස්සු හා ගවයෝ අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත්වෙති.
මේ මහා විනාශයට මඟ පෑදුවේ අනුවණ වෙළෙන්ඳාගේ පුත‍්‍රය ගේ අවිචාරවත් බවයි. ඔහුට වුවමනා වූයේ හැකි ඉක්මණින් මරුකතර ගෙවා වෙළෙඳාමේ යෙදී මහත් ලාභයක් අත්කර ගැනීමය. ගැල්වලින් තිබූ පැන් ඉවත් කළේ ද එවිට ගැල් සැහැල්ලු වීමෙන් ගමනේ වේගය වැඩි කළ හැකි බැවිනි. මේ පටු දැක්මෙන් අන්ධ වූ සිත අමනුෂ්‍යයන්ගේ රැවටිලි වදන්හි සත්‍යාසත්‍ය භාවය කෙරෙහි විමසිලිවත් වන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය.දෙවනුව වෙළෙඳාමේ යෙදෙන බෝසත් සාත්තු නායකයා කි‍්‍රයා කරන්නේ මීට වඩා හාත්පසින් වෙනස් ආකාරයෙනි. මායාකාර අමනුෂ්‍යයෝ කලින් යෙදූ උපක‍්‍රමයෙන් ඔහුද මුලා කිරීමට සැරසෙති; ඉදිරියෙහි නිබඳ වැසි වසිනා වන රේඛාව වන හෙයින් ගැල් පැන්වලින් හිස් කොට නොබියව ගමන් කරන්නැයි ඉල්ලති. ඊට බෝසතුන් දෙන පිළිතුර කෙතරම් ඥානාන්විත ද?“අපි හැම වෙළෙඳු නම් අනෙක් පැනක් නොදැක අපගේපැන් නොදැම්මහ. පැන් දුටු තැනකදී පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට යම්හ”එහෙත් මේ ප‍්‍රකාශයට කණ්ඩායමේ බොහෝ දෙනෙකු එකඟ වන බවක් නොපෙනේ. ඔවුන් ද බෝසතුන්ට කියන්නේ පැන් දමා ගැල් සැහැල්ලු කොට වහා යා යුතු බවයි. මේ නොසන්සුන්තාව කෙතරම් ද යත් ගැල් රඳවා ගැල්කරුවන් රැස්කොට ඔවුන් දැනුවත් කිරීමට ද වෙළෙඳ නායකයාට සිදුවෙයි.මේ දැනුවත් කිරීම සිදුවන්නේ ප‍්‍රශ්නෝත්තර ක‍්‍රමයට ය. ඒ අනුව ජාතක කථාකරුවා බෝසත් වෙළෙඳතුමාගේ මුවගට නංවන ප‍්‍රශ්නවලට සෙසු පිරිසෙන් පිළිතුරු ලැබීමට සලස්වන අයුරු බලන්න.“තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලක් වත් පොකුණත් වත් ඇතැයි කිසි කෙනෙකුගෙන් ඇසූ විරූ ඇද්ද?”“ස්වාමීනි ඇසූ විරූ නැත.”“තොප හැමදෙනා අතුරෙන් එක් කෙනෙකුන්ගේ ඇඟ වැසී සුළඟක් වැදගත් ද?”“නැත ස්වාමීනි”“තොප හැමගෙන් කිසි කෙනෙකුන් එක වළාකුලක් දුටුවේ ඇද්ද?”“නැත ස්වමීනි,”“තොප හැමදෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලිය ආලෝකයක් දකින ලද්දේ ද?”“නැත ස්වාමීනි, විදුලිය ආලෝකයක් නුදුටුම්හ”“තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලිය ආලෝකයක් වැසි ගර්ජනාවක් කරන් ඇසුවෝ ඇද්ද?”“නැත ස්වාමීනි, අකුණු ගසන හඬක් නොඇසුම්හ”මේ සංවාදය අවසන් වෙත් ම පැන් මඟ දමා යා යුතු යයි කියවුන්ට සිය අඥනභාවය වැටහීමට සැලැසෙයි. සෙස්සන් ගේ සිත් සතන් හි ඇති වූ කුකුස් උන් ලවාම පියවරෙන් පියවර නිෂේධනය කරවා කළ යුතු කාර්යය හා ගතයුතු පියවර බුද්ධිමත් ව තීරණය කර ගැනීමට මින් ඉඩකඩ සැපයේ.තම පෙර මඟට ආ අය සැබෑ මිනිසුන් නොව අමනුෂ්‍යයන් බවත්, ඔවුන්ගේ පර්මාර්ථයන් පෙර ආ වෙළෙඳුන් මේ යකුන්ගේ මායාවට ගොදුරු වන්නට ඇති බවත් බෝසත්හු පහදා දෙති. මේ ප‍්‍රකාශයේ ඇත්ත වැටහී යාමට වැඩි වේලාවක් ගත නොවන්නේ ගවයන්ගේ හා මිනිසුන්ගේ ඇට කැබලි හා බඩු පිරූ ගැල් පන්සියය දැකීමෙනි.
මේ කතාවේදී ජාතක කතාකරුවා සමාන ගැටුම්කාරී අවස්ථා දෙකක දී පුද්ගලයන් දෙදෙනෙකු හැසිරෙන ආකාරය මගින් ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණ ඉස්මතු වීමට ඉඩ සලසයි. මේ අතුරෙන් බෝසත් සාන්තු නායකයා නායකයකු සතු උදාර ගුණාංගයන්ගෙන් අනූන වූවෙකි. කාන්තාර මුඛයට පැමිණෙත් ම ඔහු සියලු පිරිසට කියන්නේ තමාගෙන් නොඅසා පැන් පතක් පමණවත් ප‍්‍රයෝජනයට නොගන්නා ලෙසත්, නිරුදක මරු කතරෙහි ඇති නුපුරුදු කොළ, මල්, ගෙඩි තමාගෙන් නොවිමසා අනුභව නොකරන ලෙසත් ය.පෙර පැමිණි වෙළෙඳුන් අමනුෂ්‍යයන්ට ගොදුරු වූ තැනම රැය නවාතැන් ගන්නා විට තම පිරිසට ආරක්ෂා විධිවිධාන සලසන අයුරින්ද බෝසත් වෙළෙඳුන්ගේ චරිතයෙහි උදාර ලක්ෂණ නිරූපනය වෙයි.මෙසේ බුද්ධිමත් ව හා දූරදර්ශී ව කටයුතු කිරීමෙන් සියල්ලන්ගේ ම ජීවිත නිරුපද්‍රිත වන අතර පෙර ගමන් ගත් වෙළෙඳුන්ගේ සියලු අගනා භාණ්ඩද ඔවුන් සතු වෙයි. අමනුෂ්‍යයන්ගේ උවදුරු වළකා, වෙළෙඳාමෙන් ද, ජීවිතයෙන් ද ජය අත්කර ගැනීමට හැකි වන්නේ ඊට සුදුසු නායකත්වය හා මඟපෙන්වීම ලද හෙයිනි.

No comments:

Post a Comment