Saturday, October 18, 2014

ථෙරවාදී බුදු දහම

ඉන්දියාවෙන් ලංකාවට එතැනින් කාම්බෝජයට
ථෙරවාදී බුදු දහම දේශසීමා පසු කළ හැටි


ලොව පිරිසිදු ථෙරවාදී බෞද්ධයන් වැඩිපුර ම සිටින රට ශ්‍රී ලංකාව ද නැත්නම් කාම්බෝජය ද යන්න මතභේදයට තුඩු දුන් කාරණයකි. කාම්බෝජය අපේ රටට වඩා බොහෝ ලොකුය. එහෙත් එහි සිටින සෙනඟ අඩු ය. ලංකාව කුඩා වුවත් එහි සිටින සෙනඟ කාම්බෝජයේ සිටින ප්‍රමාණයට වඩා බොහෝ වැඩිය. දෙරටේම ප්‍රධාන ආගම ථෙරවාදී බුදු දහමය. කාම්බෝජයේ ජනගහනයෙන් 87% ක්‌ ඛෙමර් ජාතියට අයත් අතර බෞද්ධයෝ වෙති. ලංකාවේ ජනගහනයෙන් 75% ක්‌ සිංහල වුවද ඔවුන්ගෙන් යම් ප්‍රමාණයක්‌ කතෝලිකයෝ ය.

මෙයට අවුරුදු 2100 කට පෙර අද කාම්බෝජය තිබෙන තැන එනමින් රටක්‌ තිබුණේ නැත. එහි තිබුණේ Funan Kingdom නමැති ඛෙමර් රාජ්‍යයකි. මේ කලාපයේ මවු කලාපය සුවන්තපුමි හෙවත් ස්‌වර්ණභූමි යන අර්ථය ඇති විශාල අර්ධද්වීපයකි. ෆුනාන් භූමියට එහා පැත්තෙන් මීකොං ගංගාවේ ඩෙල්ටාව විය. මේ මෝය කට දිගේ ෆුනාන් වෙත පැමිණි චීන්නුත්, ඉන්දුනීසියානුවෝත්, ඉන්දියානුවෝත් වෙළෙඳාමෙහි නිරත වූහ. එකල චීනයේ ප්‍රධාන ආගම වයේ බුදු දහම , කොන්ෆියුසියස්‌ දහම සහ තාවෝ දහමය. ඉන්දුනීසියාව මුස්‌ලිම් රටක්‌ විය. චීනුන් සහ ඉන්දුනීසියානුවන්, ෆුනාන් රටට ආවේ වෙළඳාම පිණිස පමණක්‌ ම වූ නිසා ඒ රටේ ආගම් ප්‍රචාරයක්‌ සිදු වූයේ නැහැ. එහෙත් ඉන්දියානුවා මඳක්‌ දුරදිග කල්පනා කර මේ රට හින්දු රාජ්‍යයක්‌ බවට පත් කළොත් යෙහෙකැයි කල්පනා කර එය ක්‍රියාත්මක කළහ. ස්‌වල්ප කාලයක්‌ තුළ ෆුනානය හින්දු රටක්‌ බවට පත් වූ අතර විෂ්ණු සහ ශිව එරට වැසියන්ගේ ප්‍රධාන දෙවිවරු බවට පත් වූහ. ෆුනානය යනු පසු කාලීන කාම්බෝජයේ කලලයයි. මේ ආකාරයෙන් කාම්බෝජය සිය කලල ජීවිතය පටන් ගන්නේ හින්දු රාජ්‍යයක්‌ ලෙසය. එහෙත් බෞද්ධයෝද යම් ප්‍රමාණයක්‌ ඒ රටේ සිටියහ.

ක්‍රි. ව 500 වන විට ෆුනාන් රාජධානිය නිමාවට පත් වී චෙන්ලා (Chenla) නමැති රාජ්‍යයක්‌ එතැනට ආදේශ විය. එය අහල පහල භූමි ප්‍රදේශ කිහිපයක්‌ ඈඳා ගත් වඩා විශාල රාජ්‍යයකි. මේ කාලයේදී එම භූමිය තුළ බුදු දහම ක්‍රමයෙන් පැතිර යන්නට විය. 13 වැනි සියවසේ විසූ චීන ජාතික වංශකතා කරුවකු වන Tonan - lin ලියා ඇති පරිදි ක්‍රි. ව. 400 සහ 500 ගණන් වලදීත් චෙන්ලා රාජ්‍යය තුළ බෞද්ධ විහාරාරාම විය. ත්‍රිපිටකය අධ්‍යයනය කරන භික්‍ෂුන් හා භික්‍ෂුණින් බහුල වශයෙන් ඒවායේ සිටියහ. මේ කාලයේදී චීන අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි ඛෙමර් භික්‍ෂුන් වහන්සේලා දෙදෙනෙක්‌ සංස්‌කෘත ත්‍රිපිටකය චීන බසට පරිවර්තනය කර දීම සඳහා චීනයට වැඩියහ. ඒ කාලයේ චෙන්ලා රාජධානිය පාලනය කළ රදවර්මන් රජතුමා ක්‍රි. ව. 535 දී ඉන්දියානු බෞද්ධ භික්‍ෂුවක වූ ගුනරතන ස්‌වාමිපාදයාණන්ගේ නායකත්වය යටතේ චීනයට බෞද්ධ දූත පිරිසක්‌ යෑවීය. පයින්ම යන දුත පිරිස චීනයට පා තබන්නේ වසර 11 කට පසුය. එහෙත් ඔවුන් එහි ගෙන ගියේ ථෙරවාදී ධර්ම පුස්‌තක නොව මහායාන පුස්‌කොල පොත් 240 ක්‌ බව දැන ගන්නට තිබේ. එහි තේරුම ථෙරවාදය මෙන්ම මහායානය ද එකල චෙන්ලා රාජ්‍යයේ තිබූ බවය. කෙසේ වුවද මේ දූත පිරිස රුදවර්මන් රජු වෙත වැඩවවීම සඳහා සම්බුද්ධ කේෂ ධාතුන් වහන්සේ නමක්‌ චීන අධිරාජ්‍යයාගෙන් ඉල්ලා ඇත. එම ධාතුන් වහන්සේගේ දිග අඩි 12 කි. කෙසේ වුවද පසු කාලයේදී චෙන්ලා රාජධානිය තුළ බුදු දහම පරිහානියට පත් විය. රට තුළ වූ මහායානය බලවත්ව රජවරුන් හා ජනයා අවලෝකිතේෂ්වර බෝධි සත්ත්ව රූපවලට නමස්‌කාර කළහ.

ක්‍රි. ව. 800 වන විට චෙන්ලා රාජධානිය මත වඩා විශාල අන්කෝර් නමැති රාජධානිය පහළ විය. එහි රජතුමා වූ 11 වන ජයවර්මන් තමා දෙව් රජකු බව ප්‍රකාශ කරමින් (එය ඛෙමර් සම්ප්‍රදායකි) අංකෝර් නමැති නගරය තැනවිය. අංකෝර් වට්‌ බෞද්ධ විහාරාරාම ස්‌මාරකය පවතින්නේ එම නගරයේ ය. මෙයට අමතරව ඔහු තවන් අග නගර තුනක්‌ සාදවා ඒවාට හරිහරලය, අමරේන්ද්‍රපුරය සහ මහේදුපර්වත යන නම් තැබීය. අමරේදුපුරය මහායාන නගරයක්‌ විය. එහි ප්‍රධානියා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවකි. අමරේන්ද්‍රපුරයෙන් දලු ලා වැඩී මහ ගසක්‌ වූ මහායානය රට පුරා පැතිර යන්නට විය. ඒ වූ කලී හින්දු ආගමේ සෙවනැල්ල බුදු දහම මත වැටී තිබූ කාලයකි.

ක්‍රි. ව. 1000 න් පසු පළමුවන සූර්යවර්මන් ඛෙමර් රාජ්‍යයේ රජු බවට පත් වෙයි. ඔහුගේ මව ඛෙමර් කාන්තාවක වූ අතර පියා ඉන්දියාවේ සිරිවිජය නමැති දෙමළ - මැලේ මිශ්‍රණයක්‌ ඇති පරම්පරාවක කෙනෙකි. සූර්ය වර්මන්ගේ පියා එකල මැලේසියානු අර්ධද්වීපයේ පිහිටි තාම්‍රලිංගම් නමැති බෞද්ධ රාජ්‍යයේ රජ වී සිටියේය. ශිව හා රාම දෙවිවරුන්ට ගරු කළත් ඔහු බෞද්ධ රජෙක්‌ විය.

තමා රජ පරම්පරාවකට අයත් බැවින් සිය මවගේ ඛෙමර් මූලය ආයුධයක්‌ ලෙස පාවිච්චි කළ සූර්යවර්මන් කාම්බෝජ සිහසුන අත්පත් කරගත්තේ බලෙනි. මහායාන රජකු වූ නමුදු රටේ ඒ වන විටත් පැවැති හීනයාන හෙවත් ථෙරවාදි බුදු දහමට ඔහු විරුද්ධ වූයේ නැත. මේ රජුට ථෙරවාද බෞද්ධයන් වූ පුරෝහිතයෝ සිටියහ.

වසර 1180 න් පසු ඛෙමර් භූමියේ රජවන්නේ හත්වන ජයවර්මන් ය. මහායාන බෞද්ධයකු වුවද ඔහු එවකට එම භූමියේ පැවැති බුදු දහම වසාගෙන තිබූ හින්දු ලක්‍ෂණ ඉවන් කිරීමෙහි යෙදුණේය. පසු කාලයේදී ථෙරවාද බුදු දහමට මහත් සේ ඇළුම් කළ ඔහු ථෙරවාද සම්ප්‍රදාය යටතේ භික්‍ෂුවක බවට පත් කර උපසම්පදාව ලබනු පිණිස සිය පුත්‍රයා වූ තමිලින්ද ශ්‍රී ලංකාවට එවීය. මේ අනුව 13 වැනි සියවසෙන් පසු අද කාම්බෝජය ලෙස හැඳින්වෙන ඛෙමර් රාජධානියේ රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ථෙරවාදී බුදු දහමය. නිර්මල ථෙරවාදී බුදු දහම රැගෙන ඛෙමර් දේශයට යන තරුණ භික්‍ෂුව සිය පියාගේ අණ පරිදි එය ප්‍රචාරය කරන්නේය.

තමිලින්ද භික්‍ෂුව ධර්මය ඉගෙන ගන්නේ දේවානම්පියතිස්‌ස රජතුමා විසින් (ක්‍රි. පූ. 247 - 207) සංස්‌ථාපනය කරන ලද මහා විහාරයේදී ය. මෙය අනුරපුරයේ පිsහිටි අතර, ක්‍රි. ව. 930 දී 'විසුද්ධමග්ගය' නමැති බෞද්ධ න්‍යාය ග්‍රන්ථය ලියූ බුද්ධඝෝෂ හිමියෝ මහා විහාරයේ ප්‍රමුඛාචාර්යවරයෙක්‌ වූහ. මහා විහාරයේ ධර්ම සම්ප්‍රදාය විප්ලවීය වූද, අතිශය විනයානුකූල වූද, යථාර්ථවාදී සම්ප්‍රදායකි. 9 වැනි සහ 10 වැනි සියවස්‌වල මෙරට සිදු වූ චෝල ආක්‍රමණවලදී බුදු දහම ට එල්ල කෙරුණු ප්‍රහාර ඉතා බලගතු විය. එවිට බුරුමය, ලාඕසය, කාම්බෝජය යන පිටරටවල එම ථෙරවාදී බුදු දහම වැඩෙන්නට විය.

වසර 10 ක්‌ මහා විහාරයේ ගත කළ තමිලින්ද තෙරණුවෝ ආපසු කාම්බෝජයට පැමිණ ථෙරවාදී සසුන ප්‍රවර්ධනය කර කුල දරුවන් මහණ කරවා පසුව උපසම්පදා කළහ.

ඉපැරැණි ග්‍රන්ථයක්‌ වු ජිනකමාලෙයි කෘතිය ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වූ සම්බන්ධකම් ගැන පැහැදිලි විස්‌තරයක්‌ ගෙනෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1967 ක්‌ පිරුණු විට මහතනසිද්දි නමැති කාම්බෝජ භික්‍ෂුවගේ නායකත්වය යටතේ එරට භික්‍ෂුන් අට නමක්‌ ද තායිලන්තයේ නවිස්‌පුරයෙන් භික්‍ෂුන් 25 නමක්‌ ද ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඒ සිංහල භික්‍ෂුන් වහන්සේලා වෙතින් උපසම්පදාව ලබනු පිණිසය.

No comments:

Post a Comment